6. 7. 5.
ඌනවීසතිවස්ස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ සතළොස්වග දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරු ඔවුන්ගේ ප්‍රමුඛයා වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: “කි නම් උපායෙකින් උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වේ දැ යි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මේ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් ඇඟිලි රිදෙයි. ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. ඉක්බිති උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් ළයට දුක් වන්නේයැ. ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙසිත විය: ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් ඇස් රිදෙයි.
2. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ වනාහි සුවසැහැවි ඇතියෝ සැප පැවතුම් ඇතියෝ මනා බොජුන් වළඳා සිසිල් යහන්හි සැතැපෙත්. ඉදින් උපාලි තෙම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් කෙරෙහි පැවිදි වන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. උපාලි දරු තෙමේ මාපියන්ගේ මේ කතාබහ ඇසුයේ යි. ඉක්බිති උපාලි දරු තෙමේ ඒ (යහළු) දරුවන් වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ දරුවනට මෙය කී යැ: “එව සගයෙනි ඇපි ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් කෙරෙහි පැවිදි වම්හ” යි. ඉදින් සගය තෙපි පැවිදි වන්නහු නම් මෙසේ ඇපිදු පැවිදි වම්හ යි.
3. ඉක්බිති ඒ දරුවෝ එකිනෙකාගේ මාපියන් වෙතැ එළැඹැ මෙය කීහු: “ගිහිගෙයින් නික්මැ සස්නෙහි පැවිදිවීමට මට අනුදනුව” යි එකල්හි ඒ දරුවන්ගේ මාපියෝ මේ හැම දරුවෝ මැ සමසඳැතියෝ කලණ අදහස්ඇතියෝ යැ යි අනුදත්හ. ඔහු මහණුන් වෙතැ එළැඹැ පැවිද්ද යැදූහ. භික්‍ෂූහු ඔවුන් පැවිදි කළහ, උපසපන් කළහ. ඔහු රෑ පසොස්සල්හි (අලුයම) නැගිට හඬත්: “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි. භික්‍ෂූහු මෙසේ කීහු: ඇවැත්නි, පහන් වන තෙක් පොරොත්තු වවු, ඉදින් හඹුවන්නේ නම් පානය කරන්නහු යැ, ඉදින් බත් වන්නේ නම් වළඳන්නහු යැ, ඉදින් කෑයුතුදැය වන්නේ නම් කන්නහු යැ. ඉදින් හඹු හෝ බත් හෝ කෑයුතුදැය නො වන්නේ නම් පිඬු පිණිස හැසිරැ වළඳන්නහු යැ යි. මෙසේ මහණුන් විසින් කියනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි හඬත් මැ යි. සෙනසුනැ මල පැහැරීම ද කෙරෙති. සුලුදිය පහකිරීම ද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟිට දරුහඬ අසා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූසේකැ කිමෙක් ද ආනන්‍ද, ඒ දරුහඬැ යි. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වී යැ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත් සේකැ: සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු දැනැ දැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරවද්දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ දැනැදැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කොළෝ දැ යි. මහණෙනි, උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ සිහිලස උණුසුම සාගිනි පවස නො ඉවසන්නෙක් වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවි හරන වෙයිනුදු නො ඉවසන සැහැවි ඇති වෙයි මහණෙනි, විසිවස් ඇති පුඟුල් තෙමේ වනාහි සිහිලස උණුසුම ... ඉවසන්නෙක් වෙයි. දිවිහරන වෙයිනුදු ඉවසන සැහැවි වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ උනු විසිවස් පුඟුලක්හු උපසපන් කරවා නම් ඒ පුද්ගල ද අනුපසපන් වූයේ වෙයි. ඒ භික්‍ෂූහු ද ගැරහිය යුත්තෝ යැ, ඒ උපාධ්‍යායයා කෙරෙහි මේ පචිති ඇවැත් වේ” යි.