6. 7. 4.
දුට්ඨුල්ල ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ බෑයාගේ සද්ධිවිහාරික භික්ෂුහට ඇරොජී යැ: ඇවැත්නි මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණියෙමි, කිසිවක්හට නහමක් ඇරොජ යි. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී යැ. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසනුයේ එමහණහු දැකැ මෙය කී යැ: “ඇවැත්නි, මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මාහට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ මම පිරිවසමි. ඇවැත්නි, මම දනිමි. මා දනී යැ යි ආයුෂ්මත් තෙමේ දරාව යි.
2. කිමෙක් ද? ඇවැත්නි, අන් යමෙකුත් මේ ඇවැතට පැමිණේ නම් හෙතෙමේත් මෙසේ කෙරේ දැ යි. ඇවැත්නි, එසේ යැ. ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ හේ කිසිවක්හට නහමක් ඇරොජ යි මට දැන්වී යැ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි පිළිසන් කරවූ දැ යි. ඇවැත්නි, එසේ යැ. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
“කෙසේ නම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනදැන පිළිසන් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරවු දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහු ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කළහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරන්නේ නම් පචිති වේ” ය යි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ, ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. දුට්ඨුල්ල නම්: සතර පරිජි හා තෙළෙස් සඟ වෙසෙස් හා ඇවැති. පටිච්ඡාදෙය්ය; මෙ කරුණ දැන සොයන්නාහ සිහිකරවන්නාහ හෙළා දක්නාහ, ගරහන්නාහ, මකුකරන්නාහ, නො ඇරොජන්නෙමැ යි ධුරය බහා තැබූ කෙණෙහි පචිති ඇවැත් වේ.
දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත් සන් ඇතියේ පිළිසන් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො දුළුල් ඇවැතක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හුගේ දුළුල් වූ හෝ නො දුළුල් වූ හෝ අධ්යාචාරයක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, මෙතෙමේ කර්කශ යැ පරුෂ යැ දිවියට අනතුරු හෝ බඹසරට අනතුරු හෝ කරන්නේ යැ යි නො ඇරොජා නම් අන් සුදුසු මහණුන් නො දක්නේ නො ඇරොජා නම්, නො වසනු කැමැත්තේ නො ඇරොජා නම්, සිය කැමින් පැනෙන්නේ යැයි නො ඇරොජා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සතරවැනි දුට්ඨුල්ල ශික්ෂාපදයි.