6. 7. 3.
උක්කෝටන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කරලති. “කර්මය නො කරන ලදැ යැ, කර්මය නපුරු කොට කරන ලද යැ, කර්මය යළි කළයුතු යැ, නො සන් හිඳුවන ලද යැ, නපුරු කොට සන්හිඳුවන ලද යැ, යළි සන්හිඳවිය යුතු” යැ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ධර්ම වූ පරිද්දෙන් සන්හිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරහු දැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණයක් දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරලන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
යථාධම්ම නම්: ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද්ද යැ. මේ යැ යථාධම්ම නම්;
අධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණයැ කිච්චාධිකරණ යැ යි අධිකරණ සතරෙකි.
පුනකම්මාය උක්කොටෙය්ය: කර්මය නො කරන ලද යැ කර්මය නපුරු කොට කරන ලද යැ කර්මය යළි කළ යුතු යැ නො සන්හිඳු වන ලද යැ නපුරු කොට සන්හිඳුවන ලද යැ යළි සන්හිඳවිය යුතු යැ යි දනිමින් මතුකරා නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ මතු කරලා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් ඇවැත් නැති.
නො දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
අධර්මයෙන් හෝ ව්යග්රයෙන් හෝ කර්මාර්හ නොවනුවක්හට හෝ කර්ම කරන ලදැ යි දන්නේ මතුකරලා නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
තුන්වැනි උක්කෝටනශික්ෂාපද යි.
6. 7. 4.
දුට්ඨුල්ල ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ බෑයාගේ සද්ධිවිහාරික භික්ෂුහට ඇරොජී යැ: ඇවැත්නි මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණියෙමි, කිසිවක්හට නහමක් ඇරොජ යි. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී යැ. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසනුයේ එමහණහු දැකැ මෙය කී යැ: “ඇවැත්නි, මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මාහට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ මම පිරිවසමි. ඇවැත්නි, මම දනිමි. මා දනී යැ යි ආයුෂ්මත් තෙමේ දරාව යි.
2. කිමෙක් ද? ඇවැත්නි, අන් යමෙකුත් මේ ඇවැතට පැමිණේ නම් හෙතෙමේත් මෙසේ කෙරේ දැ යි. ඇවැත්නි, එසේ යැ. ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ හේ කිසිවක්හට නහමක් ඇරොජ යි මට දැන්වී යැ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි පිළිසන් කරවූ දැ යි. ඇවැත්නි, එසේ යැ. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: