6. 7. 2.
සප්පාණක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කෙරෙති යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළාහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. පණුවන් සහිත යැ යි දන්නේ පරිභෝගයෙන් මැරෙති යි දන්නේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
පණුවන් සහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් ඇවැත් නැති.
පණුවන් රහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
පණුවන් රහිත යැ යි දන්නේ නම්, පරිභෝගයෙන් නො මැරෙති යි දන්නේ නම්, ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවෙනි සප්පාණක ශික්ෂාපද යි.
6. 7. 3.
උක්කෝටන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කරලති. “කර්මය නො කරන ලදැ යැ, කර්මය නපුරු කොට කරන ලද යැ, කර්මය යළි කළයුතු යැ, නො සන් හිඳුවන ලද යැ, නපුරු කොට සන්හිඳුවන ලද යැ, යළි සන්හිඳවිය යුතු” යැ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ධර්ම වූ පරිද්දෙන් සන්හිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරහු දැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණයක් දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරලන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
යථාධම්ම නම්: ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද්ද යැ. මේ යැ යථාධම්ම නම්;
අධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණයැ කිච්චාධිකරණ යැ යි අධිකරණ සතරෙකි.
පුනකම්මාය උක්කොටෙය්ය: කර්මය නො කරන ලද යැ කර්මය නපුරු කොට කරන ලද යැ කර්මය යළි කළ යුතු යැ නො සන්හිඳු වන ලද යැ නපුරු කොට සන්හිඳුවන ලද යැ යළි සන්හිඳවිය යුතු යැ යි දනිමින් මතුකරා නම් පචිති ඇවැත් වේ.