6. 7. 10.
කණ්ටක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. “භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ” යි. බොහෝ භික්ෂූහු කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමකදෘෂ්ටියෙක් උපනැයි ඇසූහු. “භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ” යි. එකල්හි ඒ භික්ෂූහු කණ්ටක හෙරණහු වෙත එළැඹියහ. එළැඹැ කණ්ටක හෙරණහට මෙය කීහු. සැබෑ ද ඇවැත් කණ්ටකය, තොපට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ ද? “භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමි” යි. භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමි.
2. ඇවැත් කණ්ටකය, මෙසේ නහමක් කියව, භාග්යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ. ඇවැත්නි කණ්ටකය, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්මයෝ අන්තරායකරහ යි භාග්යවතුන් විසින් වදාරන ලදහ. ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්ත්ථ වෙත් මැයි. කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ, මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇට සැකිල්ලක් බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්යවතුන් විසින් වදාරන ලද. ...
බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්ප ශීර්ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්යවතුන් විසින් වදාරන ලද. මෙසේ ද වනාහි කණ්ටක හෙරණ ඒ භික්ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමක දෘෂ්ටිය දැඩිසේ අල්වාගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ ස්වාමීනි, භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමැ” යි.
3. ඒ භික්ෂූහු කණ්ටක හෙරණහු තෙල ලාමකදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් නො හැකිවූහු ද, එකල්හි ඒ භික්ෂූහු භාග්යවතුන් වෙතැ එළැඹියහ. එළැඹැ භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා කණ්ටක හෙරණහු පුළුවුත් සේකැ. සැබෑ ද කණ්ටකය, තොපට මෙබඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ ද? “භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසේ භාග්යවතුන් වදාළ ධර්මය දනිමැ” යි. භාග්යවතුන් විසින් යම් අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්ත්ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්යවතුන් වදාළ ධර්මය මම දනිමි.
4. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්මය දෙසන ලදැ යි දනිවු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්මයෝ අන්තරායකරහ යි දෙසන ලද්දහු නො වෙද්ද? තව ද ඒ ධර්මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්ත්ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද යැ. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ යි මා විසින් දෙසන ලද ... බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්පශීර්ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් දෙසන ලද. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දෘෂ්ටියෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ අතියව. බොහෝ පව් ද රැස් කරහි. හිස් පුරුෂය, එය බලත් තොපට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ. හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. එකරුණෙන් මැ මහණෙනි, සඞ්ඝතෙමේ කණ්ටක හෙරණහු (දණ්ඩකර්මනාසනායෙන්) නසාවා. මෙසේ ද මහණෙනි, නැසිය යුත්තේ යි. “ඇවැත්නි කණ්ටකය, අද පටන් කොට ඒ භාග්යවත් තෙමේ තොප ශාස්තෘ යැ යි නොම කියා යුත්තේ යැ. අන් හෙරණහු මහණුන් සමග යම් දෙතුන්රැයක් එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයන ද තට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව” යි. ඉක්බිති සඞ්ඝ තෙමේ කණ්ටක හෙරණහු නැසී යැ.