6. 7. 1.
සඤ්චිච්චපාණ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී දුනුවායෙක් වෙයි. කපුටුවෝ ඔහුට අමනාප වෙති. හේ කපුටුවන් විද විද හිස සිඳ හුලෙහි පිළිවෙළින් තැබී යැ. භික්‍ෂූහු මෙසේ කීහු: ඇවැත්නි කවරක්හු විසින් මේ කපුටුවෝ දිවියෙන් තොර කරන ලද්දාහු දැ යි. ඇවැත්නි, මා විසින් මට කපුටුවෝ අමනාපයෝ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උදායී තෙරණුවෝ දැනැ දැනැ සතක්හු දිවියෙන් තොර කළෝ”දැ යි. ... සැබෑ ද උදායී, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනදැන සතක්හු දිවියෙන් තොර කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඤ්චිච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
පාණ නම්: තිරිසන් ගිය සතෙකැ යි කියනු ලැබෙයි.
ජීවිතා චෝරොපෙය්‍ය: ජීවිතේන්‍ද්‍රිය සිඳලා නම් වළහා නම් සන්තතිය විකෝපනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
3. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් පචිති ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි විමති ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් නැතියේ දිවියෙන් තොර කෙරේ නම් ඇවැත් නැති.
4. නො සතක්හු කෙරෙහි සතෙකැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි නො සතෙකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
5. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට මරණ අදහස් නැතියහුට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පළමුවැනි සඤ්චිච්චපාණ ශික්‍ෂාපද යි.
6. 7. 2.
සප්පාණක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කෙරෙති යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළාහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. පණුවන් සහිත යැ යි දන්නේ පරිභෝගයෙන් මැරෙති යි දන්නේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
පණුවන් සහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් ඇවැත් නැති.
පණුවන් රහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
පණුවන් රහිත යැ යි දන්නේ නම්, පරිභෝගයෙන් නො මැරෙති යි දන්නේ නම්, ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවෙනි සප්පාණක ශික්‍ෂාපද යි.