6. 6. 10.
චීවරාපනිධාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම්වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සතළොස් වග මහණහු නො තැන්පත් කළ පිරිකර ඇතියේ වෙති. සවග මහණහු සතළොස්වග මහණුන්ගේ පා ද සිවුරු ද සඟවති. සතළොස් වග මහණහු සවග මහණුන්ට තෙල කීහු: “ඇවැත්නි, අපගේ පාත්‍ර ද සිවුරු ද දෙව” යි. සවග මහණෝ සිනා සෙති. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ අපගේ පාත්‍ර ද සිවුරු ද සඟවති යයි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන් ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සඟවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් යටත් පිරිසෙයින් කෙළිරිසියේ නමුදු මහණක්හුගේ පයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවන්නේ නම් හෝ සඟවවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුස්ස; අන් මහණක්හුගේ;
පත්ත නම්: යපයැ මැටිපයැ යි දෙපයෙකි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්;
නිසීදන නම්: දාවලු සහිත නිසීදන යැ යි කියනු ලැබේ.
සූචිඝර නම්: හිදි සහිත වූ හෝ හිදි රහිත වූ හෝ,
කායබන්‍ධන නම්: පට්ටිකා යැ සූකරන්තක යැ යි දෙ කාබානෙකි.
අපනිධෙය්‍ය: තෙමේ සඟවා නම් පචිති ඇවැත් වෙයි.
අපනිධාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වෙයි. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු සඟවා නම් පචිති ඇවැත් වේ.
අන්තමසෝ හස්සාපේඛො යනු කෙළිරිසි ඇතියේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිඳිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වේ.