6. 5. 7.
මහානාම ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු ශාක්යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නුගඅරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි මහානාම ශාක්යයනට බෙහෙත් බහුල වෙයි. එකල්හි මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන්හට මෙය කීයැ: “ස්වාමීනි, මම සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාම, එසේ නම් මහානාම තෙපි සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරව යි භික්ෂූහු කුකුස්ඇතියාහු නො ඉවසත්. භාග්යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුමසකට ගිලන්පස පැවරීම ඉවසන්නට අනුදනිමි” යි.
2. එසමයෙහි වනාහි භික්ෂූහු මහානාම ශාක්යයන්ගේ මඳ බෙහෙදක් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්යයහට බෙහෙත් බහුල වෙයි. දෙවනවටදු මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි! එසේ වී නම් මහානාමයෙනි, තෙපි අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරව යි. භික්ෂූහු කුකුස්කරනුවෝ නො ඉවසත්. භාග්යවතුන් හට තෙල කරුණු දැන්වූහ ... “මහණෙනි, වටාලා පැවරීමකුදු ඉවසන්නට අනුදනිමි” යි.
3. එසමයෙහි භික්ෂූහු මහානාම ශාක්යයාගෙන් මඳ වූ ම බෙහෙත් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්යයහට බෙහෙත් බහුල වෙයි. තෙවනවටදු මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි, එසේ වී නම් මහානාමයෙනි, තෙපි දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරව යි. භික්ෂූහු කුකුස්ඇත්තෝ නො ඉවසත්. භාග්යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි! නිති පැවරීම ද ඉවසන්නට අනුදනිමි” යි.
4. එසමයෙහි වනාහි සවග මහණහු නොසකස් කොට හැදැ පෙරෙවියාහු නො සරිලන පැවතුම් ඇතියාහු වෙති. මහානාම ශාක්ය තෙමේ මෙසේ දොස් නඟා කියන්නේ වෙයි: “වහන්ස, කුමට නුඹවහන්දෑ නො මනා වැ හැදැ පෙරෙවියාහු නො සරිලන පැවැතුම් ඇතියාහු වූ දෑද? පැවිද්දහු විසින් මොනවට හැදැ පෙරෙව ආකල්ප සම්පන්න වියයුතු නොවේ දැ” යි. සවග මහණහු මහානාම ශාක්යයන් කෙරෙහි වෙර බැඳියහ. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇපි කිනම් උපායයෙකින් මහානාම ශාක්යයන් මකු කරන්නමෝ දැ” යි. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇවැත්නි, මහානාම ශාක්යයන් විසින් බෙහෙදින් සඞ්ඝයා පවරනලද්දේ යැ, එබැවින් ඇවැත්නි, ඇපි මහානාම ශාක්යයන්ගෙන් ගිතෙල් විනවම්හ” යි.
5. ඉක්බිති සවග මහණහු මහානාම ශාක්යයන් වෙතැ එළැඹියහ. එළැඹැ මහානාම ශාක්යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් ද්රෝණයකින් ප්රයෝජන වේ” යයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙනැ එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි.