6. 4. 8.
සන්නිධිකාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ ආරණ්‍යයෙහි වෙසෙති. උන්වහන්සේ පිඬු පිණිස හැසිරැ සූප ව්‍යඤ්ජනයෙන් නො මුසු බත් ආරාමයට ගෙනැ ගොස් වියළවා තබති. යම් දිනෙකැ අහරින් ප්‍රයෝජන වේ ද, එදින දියෙන් තෙම තෙමා වළඳති. බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙති. භික්‍ෂූහු ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන්ට මෙය කීහු: ඇවැත්නි බෙල්ලට්ඨිසීසයෙනි, කුමකට තෙපි බොහෝ කලෙකින් පිඬු පිණිස ගමට පිවිසෙවු දැයි.
2. එකල්හි ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ භික්‍ෂූන්හට තෙල කරුණ දැන්වූහ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වළඳහු දැ යි. එසේ යැ ඇවැත්නි, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරණුවෝ තැන්පත් කොට තැබූ බොජුන් වැළඳූහු දැ” යි ... සැබෑද බෙල්ලට්ඨිසීස, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වළඳවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් බෙල්ලට්ඨිසීස, තෙපි තැන්පත් කොට තැබූ බොජුන් වැළඳුවහු ද? බෙල්ලට්ඨිසීස, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් තැන්පත් කොට තැබූ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සන්නිධිකාරක නම්: අද පිළිගත් ආමිසය අන් දිනකට තැබීම යි.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
තැන්පත් කොට තබන ලදුයෙහි තැන්පත් කොට තැබූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. තැන්පත් කොට තබන ලදුයෙහි විමති ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. තැන්පත් කොට තබන ලදුයෙහි නො තැන්පත් කොට තැබූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වේ.
නො තැන්පත් කොට තබන ලදුයෙහි තැන්පත් කොට තැබූ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො තැන්පත් කොට තබන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො තැන්පත් කොට තබන ලදුයෙහි නො තැන්පත් කොට තැබූසන් ඇතියේ නම් ඇවැත් නැති.