6. 4. 5.
පඨමපවාරණ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එකල්හි එක්තරා බමුණෙක් භික්ෂූන්ට ආරාධනා කොට වැළඳවූයේ යැ. වළඳා නිමි භික්ෂූහු පවාරණය කරන ලද්දාහු නෑකුලයන් කරා ගොස් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා අසල් වැසියනට මෙය කී යැ: පින්වත්නි, මා විසින් ආර්ය්ය භික්ෂූහු සන්තර්පණය කරන ලදහ. එවු තොප ද සන්තර්පණය කරවන්නෙමි. ඔවුහු මෙසේ කීහු: කිම ආර්ය්ය වූ යුෂ්මත් තෙමේ අප සතප්වන්නෙහි ද? ඔබ විසින් යම් කෙනෙක් නිමතන ලද්දාහු ද, ඔවුහු අපගේ ගෙවලට අවුත් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි: “කෙසේ නම් හිමිවරු අපගේ ගෙහි වළඳා අන්තැනෙකැ වැළඳූහු ද? මම ඇතිතාක් දීමට ප්රතිබලයෙකිම් නො වෙම් දැ” යි.
2. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණා ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත් “කෙසේ නම් භික්ෂූහු වළඳා ප්රතික්ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, භික්ෂූහු වළඳා ප්රතික්ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වළඳද් ද?
සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, හිස්පුරුෂ වූ ඒ භික්ෂුහු වළඳා නිමියාහු ප්රතික්ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ බුදී නම් හෝ පචිති වේ යැයි.
මෙසේ භාග්යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්ෂූහු ගිලන් මහණුන්ට ප්රණීත පිණ්ඩපාතය ගෙන යති. ගිලන්හු සිත් සේ නො වළඳති. ඒවා භික්ෂූහු ඉවත දමති. බුදුහු මුළුදුන් කවුඩන්ගේ උස්හඬ මහාහඬ ඇසූහු. අසා ආයුෂ්මත් ආනන්දයන් ඇමතූහ: ආනන්ද, මුළුදුන් කවුඩන් ගේ තෙල උස් හඬ, මහාහඬ කුමක් හෙයින් ද? එකල්හි ආයුෂ්මත් ආනන්දයෝ භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ආනන්ද, භික්ෂූහු වනාහි ගිලනුන් වළඳා ඉතිරි දැය වළඳන්නාහු ද? භාග්යවතුන් වහන්ස, නො වළඳන්නාහ. එකල්හි බුදුහු මෙකරුණෙහිලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලනාට ද නො ගිලනාට ද ඉතිරිදැය වළඳන්නට අනුදනිමි.” මෙසේ මහණෙනි, අතිරිත්තය කළයුතු යි. ‘මෙහැම පමණයැ’. තව ද මහණෙනි මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ අයිරිත් නො වු කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ වළඳන්නේ නම් හෝ පචිති වේ යැයි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහිලා අදහස් කරන ලද භික්ෂු යි.
භුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් යටත් පිරිසෙයින් කුසතණ අගකිනුදු අනුභව කළේ වෙයි.
පවාරිත නම්: වළඳනු පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පසැ සිටියේ වෙයි. එළවයි. ප්රතික්ෂේපය පැනෙයි.
අනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවනලද දැයෙකි. අත්පසින් බැහැර සිටියහු විසින් කළදැයෙකි. වළඳා නො නිමියහු විසින් කළදැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැඟිට කළදැයෙකි. මේ හැම පමණ යැ නො කියන ලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නොකළ දැයෙකි. මෙයැ අනතිරිත්ත නමි.
අතිරිත්ත නම්: කැප කළ දැයෙකි, පිළිගත් දැයෙකි, ඔසවන ලද දැයෙකි, අත්පසැ සිටියහු විසින් කළ දැයෙකි, වළඳා නිමියහු විසින් කළ දැයෙකි, වළඳා පැවැරුණාහු අසුනෙන් නො නැඟිට කළ දැයෙකි, මේ හැම පමණැ යි කියන ලද දැයෙකි, ගිලනක්හු විසින් ඉතිරි කළ දැයෙකි, මේ යැ අතිරිත්ත නම්.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවකය ද තබා සෙසු දැය ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.