6. 4. 6.
දුතියපවාරණ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි දෙ මහණ කෙනෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එක් මහණෙක් පනත් විකුම් කෙරෙයි. දෙවන මහණ තෙමේ එමහණට ඇවැත, මෙබන්දක් නහමක් කරව, ‘මෙය නො කැප’ යැයි මෙ බස කී යැ. හේ ඔහු කෙරෙහි වෙර බැන්දේ යි. එකල්හි ඒ භික්ෂූහු සැවැතට ගියහ. එසමයෙහි සැවැතෙහි එක්තරා මුළුවෙක්හි සඟබතෙක් වෙයි. දෙවන මහණ වළඳා නිමියේ පවාරිත වෙයි. වෙර බැඳි මහණ නෑකුලයට ගොස් පිණ්ඩපාතය ගෙනවුත් එමහණ වෙතැ එළැඹියේ යැ. එළැඹැ එමහණහට මෙය කී යැ; ඇවැත, වළඳන්නැයි. පමණි ඇවැත, පිරිපුන් වෙමි. ඇවැත, පිණ්ඩපාතය යහපත් යැ, වළඳන්නැයි. එකල්හි ඒ මහණ තෙමේ එමහණහු විසින් පෙළනු ලබන්නේ ඒ පිණ්ඩපාතය වැළඳී යැ, වෙර බැඳි මහණ තෙමේ එ මහණහට මෙය කී යැ: ඇවැත, යම් හෙයෙකින් තෙපි වළඳා නිමියහු කළ පැවැරුණු ඇතියහු අයිරිත් නො කළ බොජුන් වළඳවු නම් (එබඳු) තෙපි මා කියයුතු කොට හඟනහු දැයි. ඇවැත, කිය යුතු නො වේ ද? ඇවැත, පිළිවිසිය යුතු නො වේ දැයි.
2. එකල්හි ඒ මහණ තෙම භික්ෂූන්හට මෙකරුණ සැල කෙළේ යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරී දැ යි ... සැබෑද මහණ, තෙපි වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුවහු ද? සැබැව, භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි වළඳා නිම කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි! මේ සිකපදය මෙසේ උදෙසවු.
යම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ කෑයුතු දැයෙකින් හෝ බුදිය යුතු දැයෙකින් හෝ හිඳ මහණ කන්නේයැ හෝ බුදින්නේයැ හෝ යි ගටනු කැමැත්තේ දැනැ දැනැ පවරන්නේ නම් වැළඳුව පචිති වේ යැයි.
3. යො පන; යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුං: අන් මහණක්හු;
භුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙක් යටත් පිරිසෙයින් කුසතණ අගිනුදු අනුභව කෙළේ වෙයි.
පවාරිත නම්: නො නිමි කෑම පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පස සිටියේ වෙයි, එළවයි, ප්රතික්ෂේපය පැනෙයි.
අනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවන ලද දැයෙකි. අත්පසින් බැහැරැ සිටියහු විසින් කළ දැයෙකි. වළඳා නො නිමියහු විසින් කළ දැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැගිට කළ දැයෙකි. මේ හැම පමණැයි නො කියනලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නො කළ දැයෙකි. මේ යැ අනතිරික්ත නම්.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස් බොජුනි.