6. 4. 4.
කාණමාතු ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි කාණමාතා උපාසිකාව සැදැහැත්තී පහන්වූවා වෙයි. කාණාව ගමෙකැ එක්තරා පුරුෂයකුට පාවා දුන්නී ය. එකල්හි කාණාව කිසියම් කරුණක් සඳහා මවගේ ගෙට ගියාය. එකල්හි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේ වා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. එකල්හි කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬු සැරි මහණෙක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ.
එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී ය. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසන් බවට ගියේ යි. දෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේවා. කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. දෙවනු ද කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණමාතා උපාසිකාව ගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේ යි. තෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. “කාණාව පැමිණේවා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. ඉදින් කාණාව නො පැමිණෙන්නී නම් මම් අන් අඹුවක ගෙනෙන්නෙමි” තෙවනුද කාණාමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැයි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණාමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙ තෙමේ ද නික්ම ගොස් අනිකෙකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේයි. එකල්හි කාණාව ගේ සැමියා අන් අඹුවක ගෙනාවේ යැ. කාණාව ඒ පුරුෂයා විසින් අන් අඹුවක් ගෙනෙන ලදැ යි ඇසූ. ඕතොමෝ හඬමින් සිටියා යැ.
2. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන කාණමාතා උපාසිකාවගේ නිවසට එළැඹියහ. එළඹැ පනවන ලද අස්නෙහි වැඩැ හුන්හු. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන් වෙතැ එළඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නා යැ. එකත්පසෙකැ හුන්නා වූ කාණමාතා උපාසිකාවට භාග්‍යවත්හු මෙය වදාළහ: මේ කාණාව කුමකට හඬන්නීදැ යි. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූවා යැ. එකල්හි භාග්‍යවත්හු කාණමාතා උපාසිකාවට දැහැමි කථායෙන් (දෙලෝවැඩ) මොනොවට දක්වා (කුසල් දහම්හි) සමාදන් කරවා මොනොවට තෙද ගන්වා සතුටු කරවා අසුනෙන් නැගිට වැඩිය හ.