6. 4. 3.
පරම්පරභෝජන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ පිණිබත්වලින් බත්පිළිවෙළෙක් තබන ලද්දේ වෙයි. එකල්හි එක්තරා දිළිඳු කම්කරුවකුහට මෙ සිත විය: “යම් සේ මේ මිනිස්සු සකසා බත් තැබීම කෙරෙද්ද, මේ නම් ලමුවැඩෙක් නො වේ මැ යි, යම් හෙයෙකින් මම ද බතක් කරන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි. එකල්හි ඒ දිළිඳු කම්කරුවා කිරපතිකයා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ කිරපතිකයා හට මෙය කී යැ:
“හිමි පුත, මම් බුදුපාමොක් බික්සඟනට බතක් කරන්නට කැමැත්තෙමි, මාගේ වැටුප් දෙනුමැනැවැ” යි. ඒ කිරපතිකයා ද සැදැහැතියේ පහන් වූයේ වෙයි. එකල්හි ඒ කිරපතිකයා ඒ දිළිඳු කම්කරුවාහට අතිරේක දීමනා සහිත වැටුප දින. ඉක්බිති ඒ දිළිඳු කම්කරුවා භාග්යවතුන් වෙතැ එළැඹි යේ යැ. එළැඹ භාග්යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ ඒ දිළිඳු කම්කරුවා භාග්යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි භාග්යවතුන් වහන්ස, මාගේ බත සෙට දවසට බික්සඟන සමඟ ඉවසනසේක්ව” යි. ඇවැත, බික්සඟන බොහෝ යැ, (පමණ) දනුව යි. ස්වාමීනි, භික්ෂුසඞ්ඝයා බොහෝ වේවා, මා විසින් බොහෝ ඩෙබර පිළියෙළ කරන ලදහ. ඩෙබරමුසු අහරින් පින්වත් හිමිවරු පිනා යෙත්ව යි. භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේකැ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භාග්යවතුන්ගේ ඉවසීම දැනැ අස්නෙන් නැඟිට භාග්යවතුන් සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යි.
2. ඒ දිළිඳු කම්කරුවා විසින් ඩෙබරමුසු අහරින් වත් ආර්ය්යයෝ පිනායෙත්වා’යි හෙට දවසට බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි භික්ෂූහු ඇසූහු. ඔවුහු කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළඳූහ. මිනිස්සු දිළිඳු කම්කරුවා විසින් බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි ඇසූහු යි. ඔවුහු බොහෝ කෑ යුතු බිඳිය යුතු දැය ඒ දිළිඳු කම්කරුවා වෙතැ එළවූහ.
3. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ඒ රැය ඇවෑමෙන් පිණි කැවිලි බොජුන් පිළියෙල කොට භාග්යවතුන්හට කල් දන්වා යැවී ය. ස්වාමීනි, මේ කාලය යි, බත් නිමියේ යි. එකල්හි භාග්යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන ඒ දුළිඳු කම්කරුවාගේ නිවසට එළඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි භික්ෂුසංඝයා සමඟ වැඩ හුන්හු. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භක්තාග්රයෙහි භික්ෂූන් වළඳවයි. භික්ෂූහු මෙසේ කීහ. ඇවැත, මඳක් දෙව, ඇවැත මඳක් දෙව. ස්වාමීනි, මුඹවහන්සේලා මේ දිළිඳු කම්කරුවෙකැයි මඳ මඳ කොට නො පිළිගනු මැනැවි. මා විසින් බොහෝ කැවිලි බොජුන් අහර පිළියෙළ කරන ලදී. ස්වාමීනි, කැමැතිතාක් පිළිගනු මැනැවි. ඇවැත, ඇපි මෙකරුණින් මඳ මඳ කොට නො පිළිගනුම්හ. තවද ඇපි කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළැඳුම්හ. එහෙයින් අපි මඳ මඳ පිළිගනුම්හ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. කෙසේ නම් වහන්දෑ මා විසින් නිමතන ලද්දාහු අන් තැනෙක වැළැඳුහු ද? මම් ද කැමැතිතාක් දීමට සමර්ත්ථ නො වෙම් ද? භික්ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ දිළිඳු කම්කරුවා ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යි.