6. 4. 2.
ගණභෝජන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහ නුවරැ කලන්දක නිවාප නම් වූ වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි පිරිහුණු ලාභසත්කාර ඇති දේවදත්ත තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රයෝ කුලයන්හි විනව විනවා වැළඳූහු ද? කවරක්හට මිහිර නො මැනැවි ද? කවරක්හට රසවත් දැය නුරුස්නේ දැ යි.
2. භික්ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් දෙව්දත් තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වැළඳී ද? ... සැබෑ ද, දේවදත්ත, තෙපි පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳවු ද? සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... හිස්පුරුෂය, කෙසේ නම් තෙපි පිරිස සමග කුලයන්හි විනව විනවා වැළඳුවහු ද? හිස් පුරුෂය! මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ගණබොජුනෙහි පචිති වේ” යයි.
මෙසේත් භාග්යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මිනිස්සු ගිලන් මහණුන්ට බතින් පවරත්. භික්ෂූහු භාග්යවතුන් විසින් ගණ බොජුන ප්රතික්ෂේප කරන ලදැ යි, කුකුස් කරන්නාහු නො ඉවසත්. භාග්යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්යවත් බුදුහු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ. “මහණෙනි, ගිලන් මහණහු විසින් ගණ බොජුන් වළඳන්නට අනුදනිමි” මෙසේ ද වනාහි මහණෙනි, මේ සික පදය උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි ලා මේ සුදුසු සමය යි, එනම්: ගිලන් සමයැ. එහි මේ සුදුසු සමය” යි.
මෙසේත් භාග්යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරු බතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්ෂූන් පවරත්. භික්ෂූහු භාග්යවතුන් විසින් ගණබොජුන ප්රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද, මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ සිවුරු දෙනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් මහණෙනි, භාග්යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි මිනිස්සු සිවුරු කරන මහණුන් බතින් පවරත්. භික්ෂූහු භාග්යවතුන් විසින් ගණබොජුන ප්රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. භාග්යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු:
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන්සමයැ, සිවුරු දෙනසමයැ, සිවුරු කරනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
මෙසේත් භාග්යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.