6. 4. 10.
දන්තපොන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු විසල් පුරැ කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්වපාංශුකූලික වූයේ සොහොනෙහි වෙසෙයි. හෙතෙම මිනිසුන් විසින් දෙනු ලබන්නක් පිළිගන්නට නො කැමැති වෙයි. සොහිනෙහි දු රුක්මුලෙහි දු එළිපත්තෙහි දු මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වළඳ යි. මිනිස්සු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මේ මහණ අපගේ මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වැළඳී”දැ යි. මේ මහණ තර වට සිරිරි ඇතියෙක. මිනීමස් කතීයි හඟිමු. භික්ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් නො පිළිගත් අහරක් පරගලා කෙළේ දැ” යි ... සැබෑද මහණ, තෙපි නො පිළිගත් අහරක් පරගලා කරවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි නො පිළිගත් අහරක් පරගලා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් නො පිළිගත් අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාහි භික්ෂූහු දැහැටු පැන්හි කුකුස් කරති. භාග්යවත්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, නො පිළිගන්වන ලද දැහැටුපැන් තෙමේ මැ ගෙනැ වළඳන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැහැටු පැන් තබා නො පිළි ගන්වන ලද අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
අදින්න නම්: නො පිළිගන්වනලද්දැ යි කියනු ලැබේ. දින්න නම්: කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දෙන කල්හි අත්පසැ සිටියේ කයින් හෝ කය පිළිබද්දෙන් හෝ පිළිගනී නම් තෙලෙ දෙනලද්ද නම් වේ.
ආහාර නම්: දැහැටු පැන් තබා යම් කිසි පරගලා කළයුතු දැයෙකි, මේ යැ ආහාර නම්.
අඤ්ඤත්ර උදකදන්ත පොනා: දැහැටු පැන් තබා කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
නො පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නොදුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි විමති ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වේ.
පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ නම් ඇවැත් නැති.
දැහැටු පැන්හි, සතර මහාවිකටයන් කැපකරුවකු නැති සඳ කරුණක් ඇති කල්හි තෙමේ මැ ගෙනැ වළඳා නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි දන්තපොන ශික්ෂාපද යි.
චතුර්ත්ථ භෝජනවර්ග යි.
එහි උදානය:
ආවසථපිණ්ඩ යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ කාණමාතු යැ පඨමපවාරණ දුතියපවාරණ දෙක යැ විකාලභොජන යැ සන්නිධිකාරක යැ පණීතභෝජන යැ දන්තපෝනය සමඟ වදාළ ඒ සිකපද දශයෙකි.