6. 3. 10.
රහෝනිසජ්ජ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවන් පැරණි අඹුව මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා වෙයි. ඕ නිරතුරු ආයුෂ්මත් උදායී තෙරණුවන් වැළතට යෙයි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද ඒ මෙහෙණ වැළතට නිරතුරු යෙති. එකල්හි එකලා වූ ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මැ එමෙහෙණ හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙකැ) හිඳීම කළහ.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් එකලා වූ ආයුෂ්මත් උදායී එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳී දැ යි ... සැබෑ ද? උදායී, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙක) හිඳිම කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු නම්: මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධිං: එක් වැ.
ඒකෝ ඒකාය: මහණෙක් ද වෙයි, මෙහෙණක් ද වෙයි.
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ. චක්ඛුස්ස රහෝ නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. සෝතස්ස රහෝ නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්ය යනු: මෙහෙණ හුන් කල්හි මහණ වෙතැ හුන්නේ නම් හෝ වෙතැ හොත්තේ නම් හෝ පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මෙහෙණ වෙතැ හුන්නී නම් හෝ වෙතැ හොත්තී නම් හෝ පචිති ඇවැත් වේ. දෙදෙන මැ හෝ හුන්නාහු වෙත් නම් දෙදෙන මැ හෝ හොත්තාහු වෙත් නම් පචිති ඇවැත් වේ.
නොරඹුරෙහි නොරඹුරුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙ යි. නොරඹුරෙහි විමති ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොරඹුරෙහි හමුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.