2.
උපෝසථක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එසමයෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද එක් තැන් වී දහම් (කටයුතු නො කටයුතු) කියා දෙත්. මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්.
2. එකල්හි එකලා වූ සිත එකඟ කොට සිටි මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජහට “දැන් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී ධර්‍මය කියා දෙත්. ඒ මිනිස්සු ඒ දහම් ඇසීමට ඔවුන් වෙත යත්. එයින් ඔහු අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්. අපගේ ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නාහු නම්, වැඩෙක් වන්නේ ය” යි සිත් වි ය.
3. ඉක්බිති මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
4. “ස්වාමීනි, මෙහි එකලා ව සිත එකඟ කොට සිටි මට, ‘දැන් අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී (මිනිසුන්ට) යුතු අයුතුකම් කියා දෙති. මිනිස්සු ඒ ඇසීමට ඔවුන් කරා යන්නෝ ය. එයින් ඔහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් කෙරෙහි ප්‍රේමය ලබත්. පැහැදීම ලබත්. අනන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ පක්‍ෂබල ලබත්. අප ගේ ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නෝ නම්, වැඩෙක් වන්නේ ය’ යි සිත් වි ය. ‘ස්වාමීනි, ආර්‍ය්‍යයන් වහන්සේලා ත් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නාහු නම් යහපතැ” යි රජ තෙමේ සැළකෙළේ ය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුට දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තියුණු කරවූහ. සතුටු කරවූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමිකතාවෙන් කරණු දක්වනලද සමාදන් කරවනලද තියුණු කරවනලද සතුටු කරවනලද මගධේශ්වර වූ සේනියබිම්බිසාරරජ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
6. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නට අනුදනිමි” යි වදාළසේක.
7. එකල්හි භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වන්නට අනුදන්නාලදැ” යි තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී නිශ්ශබ්ද ව හිඳිත්, මිනිස්සු දහම් ඇසීමට ඒ භික්‍ෂූන් වෙත පැමිණෙත්. ඒ මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස්ව ගොළු ඌරන් මෙන් නො බැණ හිඳිත් ද? රැස් වූවන් විසින් දහම් දෙසිය යුතු නො වේ දැ?” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්,
8. භික්‍ෂූහු බණන දොඩන දොස් කියන ඒ මිනිසුන්ගේ බැණුම් දෙඩුම් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ බව සැළකළහ.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි, මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයේ අටවක්හි රැස් වී දහම් දෙසන්නට අනුදනිමි” යි.
10. ඉන් පසු එකලා ව විවේකයෙන් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේට “මා විසින් භික්‍ෂූන්ට යම් සිකපද කෙනෙක් පණවනලද ද, ඒ සිකපද ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙම් නම්, යෙහෙක. ඒ පාමෙක් උදෙසීම ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය” යි අදහස් වි ය.
11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මෙහි එකලා වූ පලසමවතින් යුක්ත වූ මට ‘මා විසින් භික්‍ෂූන්ට යම් සිකපද කෙනෙක් පණවනලද ද, ඒ සිකපද මම ඔවුන්ට පාමොක් උදෙසීම් කොට අනුදන්නෙම් නම් යෙහෙක. එය ඔවුන්ට පෙහෙවස්කම් වන්නේ ය’ යි සිත් වි ය. මහණෙනි, පාමොක් උදෙසන්නට අනුදනිමි. එය මෙසේ උදෙසිය යුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂූනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය:
12. “සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට කල් පැමිණියේ නම්, සඞ්ඝ තෙමේ පොහොය කරන්නේ ය. පාමොක් උදෙසන්නේ ය. සඞ්ඝයාගේ පූර්‍වකෘත්‍යය කිම? ආයුෂ්මතුනි, පිරිසිදුබව සැළකරවු. පාමොක් උදෙසන්නෙමි. ඒ පාමොක් මේ පිරිසෙහි වූ අපි සියලු දෙන ම මනා කොට අසමු. මෙනෙහි කරමු. යමකුට ඇවැතෙක් වේ නම්, හෙ තෙමේ එය කියන්නේ ය. ඇවැත් නැති කල්හි නිශ්ශබ්ද විය යුතු ය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මතුන් පිරිසිදුහ යි දැන ගන්නෙමි. යම් සේ වෙන් වෙන් කොට විචාරණ ලද්දහුගේ (මා විචාරන්නේ ය යි දැන) විචාළ දෑ කීමෙක් වේ ද, එපරිද්දෙන් ම මෙබඳු පිරිස්හි තෙවනවර තෙක් අස්වන ලද්දේ වේ. යම් මහණෙක් තෙමේ තෙවනවර තෙක් අස්වනු ලබන කල්හි තමා කෙරෙහි ඇති ඇවැත සිහිපත් කරමින් ප්‍රකාශ නො කෙරේ නම්, සම්පජානමුසාවාදය වේ. ආයුෂ්මතුනි, සම්පජානමුසාවාදය අන්තරායකාරධර්‍මයෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. එහෙයින් ඇවැතට පැමිණියා වූ, ඒ ඇවැත සිහිපත් කරන්නා වූ, පිරිසිදුබව බලාපොරොත්තු වන්නා වූ, භික්‍ෂූහු විසින් ඇති ඇවැත කිය යුතු ය. ඒ එසේ ම ය. ප්‍රකාශ කිරීම හේතු කොට ඒ ඕහට පහසු වෙයි.