10.
කෝසම්බක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා මහණෙක් ඇවැතකට පැමිණියේ වේ. හෙතෙමේ ඒ ඇවැතෙහි ආපත්ති දෘෂ්ටි (ඇවැත් යන ලබ්ධි) ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි අනාපත්තිදෘෂ්ටි (ඇවැත් නැතැ යි යන ලබ්ධි) ඇත්තෝ වෙති.
2. හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවැතෙහි අනාපත්ති දෘෂ්ටි ඇත්තේ වේ. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ආපත්තිදෘෂ්ටි ඇත්තෝ වෙති.
3. ඉක්බිති ඒ භික්‍ෂූහු “ඇවැත, තෝ ඇවැතකට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට කීහ. “ඇවැත්නි, මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ” යි හෙතෙමේ කීය.
4. එකල්හි ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ භික්‍ෂුනම ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.
5. ඒ මහණ තෙමේ ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේ ය. ආගම පුහුණු කෙළේ වේ. ධර්‍මධර ය. විනයධර ය. උභයමාතෘකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. ශික්‍ෂාකාමී ය.
6. ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු දැඩිමිතුරු භික්‍ෂූන් වෙත එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියේ වෙමි. පැමිණියෙක් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දෙක් නො වෙමි. කෝප්‍ය වූ (ආක්‍රෝශ කටයුතු බවට පැමිණි) සසුනට නො ගැළපෙන්නා වු අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂ වවු” යි මෙය කීයේ ය. ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ (තමහට) පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.
7. “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දේ වෙමි. තහනම් කරණ ලද්දේ නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු ධර්‍මයෙන් විනයයෙන් මට පක්‍ෂවවු” යි මෙසේ කියා දනවු වැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය. ඒ භික්‍ෂු තෙමේ දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ද ලැබී ය.
8. ඉක්බිති ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තක (තහනම් කරණු ලැබූවහුට අනු ව පවතින) භික්‍ෂූහු තහනම් කළ භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ “ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැතක් නො වේ. මේ මහණ තෙමේ ඇවැතට නො පැමිණියේ වේ. මේ මහණ තෙමේ ඇවැතට පැමිණියෙක් නො වේ. මේ මහණ තෙමේ බැහැර නො කරණ ලද්දේ වේ. මේ මහණ තෙමේ බැහැර කරණ ලද්දෙක් නො වේ. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දේ ය” යි බැහැර කළ භික්‍ෂූන්ට මෙය කීහ.
9. මෙසේ කී කල්හි උත්ක්‍ෂේපකභික්‍ෂූහු “ඇවැත්නි, මෙය ඇවතකි. මෙය අනාපත්ති නො වේ. මේ මහණ තෙමේ ඇවැත් අවන් ය. මේ මහණ තෙමේ ඇවැතට අවන් නො වූයේ නො වේ. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත ය. මේ මහණ තෙමේ උත්ක්‍ෂිප්ත නො වූයේ නො වේ. අකෝප්‍ය වූ සසුනට ගැළපෙන්නා වූ ධාර්මිකකර්‍මයෙන් උත්ක්‍ෂිප්ත ය. (එහෙයින්) ආයුෂ්මත්හු මේ උත්ක්‍ෂිප්ත භික්‍ෂුහුහට අනුවර්‍තක නො වවු. අනුගමනය නො කරවු” යි උත්ක්‍ෂිප්තානුවර්‍තක භික්‍ෂූන්ට මෙය කීහ.
10. උත්ක්‍ෂේපකභික්‍ෂූන් විසින් මෙසේත් කියනු ලබන්නා වූ ඒ උත්ක්‍ෂිප්තානුවර්‍තකභික්‍ෂූහු ඒ උත්ක්‍ෂිප්ත වූ මහණහු අනු ව පැවැත්තාහු ය. පිරිවැරූහ.
11. ඒ අතර එක්තරා මහණෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය. “ස්වාමීනි, මෙහි එක්තරා මහණෙක් ඇවැත් අවන්නේ වේ. හෙතෙමේ ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තේ වී ය. සෙසු භික්‍ෂූහු ඒ ඇවැතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තෝ වූහ.”
12. “හෙතෙමේ මෑත කාලයෙහි ඒ ඇවතෙහි ඇවැත් නැතැ යි ලබ්ධි ඇත්තේ විය. සෙසු භික්‍ෂූහු ඒ ඇවතෙහි ඇවැත් යි ලබ්ධි ඇත්තෝ වූහ.”
13. “ස්වාමීනි, අනතුරු ව ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, තෝ ඇවැතට පැමිණියෙහි ය. තෙල ඇවැත දකුව” යි ඒ මහණහුට මෙය කීහ. ‘මම යම් ඇවැතක් දක්නෙම් ද, මට එබඳු ඇවැතක් නැතැ’ යි (ඒ මහණ කී ය)
14. “එවිට ස්වාමීනි, ඒ භික්‍ෂූහු සමගිය ලබා ඒ මහණහු ඇවැත් නො දැක්මෙහි තහනම් කළහ.”
15. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේත් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ ය. පුහුණු කළ නිකාය ඇත්තේ ය. ධර්‍මධර ය. විනයධර ය. මාතෘකාධර ය. පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. ලජ්ජා ඇත්තේ ය. කුකුස් කරන්නේ ය. හික්මෙනු කැමැත්තේ ය.”
16. “ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ දුටු පමණින් මිතුරු වූ ආශ්‍රයයෙන් මිතුරු වූ භික්‍ෂූන් වෙත එළඹ ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැත් අවන් වූයෙම් නො වෙමි. ඇවැතට පැමිණියෙම් නො වෙමි. තහනම් නො කරණ ලද්දෙම් වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වු සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් තහනම් කරණ ලද්දේ වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි මෙය කී ය.”
17. “ස්වාමීනි, ඒ භික්‍ෂු තෙමේ දුටුමිතුරු වූ දැඩි මිතුරු වූ පක්‍ෂ වූ භික්‍ෂූන් ලැබී ය.”
18. ‘ඇවැත්නි, මෙය අනාපත්ති වේ. මෙය ඇවැත් නො වේ. ඇවැතට නො පැමිණියෙම් වෙමි. ඇවැතට පැමිණියේ නො වෙමි. බැහැර නො කරණ ලද්දේ වෙමි. බැහැර කරණ ලද්දෙම් නො වෙමි. කෝප්‍ය වූ සසුනට නො ගැළපෙන්නා වූ අධාර්මිකකර්‍මයෙන් බැහැර කරණ ලද්දෙම් වෙමි. (එහෙයින්) ආයුෂ්මත්හු මට ධර්‍මයෙන් විනයයෙන් පක්‍ෂ වවු’ යි දනවුවැසි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ භික්‍ෂූන් වෙත ද දූතයකු යැවී ය.