14. “කාශ්යපය, ඒ මම නුඹගේ සිත මා සිතින් දැන උතුරුකුරු දිවයිනට ගොස් එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කෙළෙමි” යි වදාළසේක.
15. එකල්හි උරුවේලකාශ්යපජටිලයාහට “යමෙක් සිය සිතින් අනුන්ගේ සිත දැන ගන්නේ ද, ඒ මහාශ්රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේම ය. එහෙත් මා මෙන් රහත්, නො වේ මැ” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ උරුවේලකාශ්යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූසේක.
පඤ්චම ප්රාතිහාර්ය්යය යි
1. එකල්හි භාග්යවතුන් වහන්සේට පංසුකූලයක් උපන්නේ ය. එවිට උන්වහන්සේට “මම කොතැන්හි දී පංසුකූලය සෝදන්නේනම් දැ?” යි සිතක් පහළ වූයේ ය. අනතුරු ව දෙවියන්ට අධිපති වූ ශක්රතෙමේ භාග්යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන අතින් පොකුණක් හාරා භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මෙහි පංසුකූලය සෝදන සේක්වා” යි සැළ කෙළේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේට “මම කුමක ලා පංසුකූලය පිරිමදින්නෙම් දැ?” යි සිතක් වි ය. ඉක්බිති සක්දෙව්රජතෙමේ භාග්යවතුන් වහන්සේ ගේ චිත්තවිතර්කය තම සිතින් දැන “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මෙහි පංසුකූලය පිරිමදිනසේක්වා” යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේට “මම කොතැනක එල්බී ගොඩ නගින්නෙම්දැ?” යි සිතක් වූයේය. ඉක්බිති කුඹුක්ගසෙහි අරක් ගත් දේවතා තොමෝ භාග්යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගින සේක් වා” යි අත්තක් නැමූ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේට “මම පංසුකූලය කොතැනක දිග හරින්නෙම් (– වනම් දැ යි) සිතක් වූයේ ය. ඉක්බිති සක්දෙව්රජතෙමේ භාග්යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැන “භාග්යවතුන් වහන්සේ පංසුකූලය මෙහි දිග හරිණ (වනන) සේක්වා” යි මහත් ගලක් එළවා තැබුයේ ය.
2. ඉක්බිති උරුවේලකාශ්යපජටිල තෙමේ ඒ රැය ඉක්ම ගිය කල්හි භාග්යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ “මහාශ්රමණය, මේ සුදුසු කාලය යි. බත නිමවූයේ ය. මහාශ්රමණය, කිමෙක් ද? මේ පොකුණ පෙර මෙහි නො වී ය. මෙහි ඒ මේ පොකුණ දැන් තිබේ. පෙර මේ ගල නො තිබුනි. කවරකු විසින් මේ ගල තබන ලද්දේ ද? පෙර මේ කුඹුක් ගසේ අත්ත නො නැමින. දැන් ඒ මේ අත්ත නැමිනැ’ යි කීයේ ය.
3. “කාශ්යපය, මෙහි දී මට පංසුකූලයක් උපන්නේ ය. ‘කොතැනක මම පංසුකූලය සෝදන්නෙම් දැ?’ යි ඒ මට සිතක් උපන. කාශ්යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන අතින් පොකුණක් හාරා මට “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ පංසුකූලය මෙහි සෝදනසේක්වා’ යි කීයේ ය. ඒ මේ පොකුණ නො මිනිසකු අතින් සාරණලද්දේ ය. කාශ්යපය, ඒ මට ‘මම කො තැනක පංසුකූලය පිරිමදින්නෙම් දැ?’ යි සිතක් වූයේ ය. කාශ්යපය, ඉක්බිති සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ පංසුකූලය මෙහි පිරිමදිනසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුවේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය. ‘කාශ්යපය, ඒ මට මම කො තැනක එල්බී ගොඩ නගින්නෙම් දැ’ යි සිතක් උපන්නේ ය. ඉක්බිති කාශ්යපය, කුඹුක්ගසෙහි අරක්ගත් දේවතාතොමෝ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මෙහි එල්බී ගොඩ නගිනසේක්වා” යි අත්තක් නැමූ ය. ඒ මේ කුඹුක්ගස “ස්වාමීනි, අත දෙව” යි කියන්නා සේ ය. කාශ්යපය, ඒ මට ‘මම පංසුකූලය කො තැනක දිග හරින්නෙම් දැ?’ යි සිතක් වි ය. ඉක්බිති කාශ්යපය, සක්දෙව්රජ තෙමේ තම සිතින් මාගේ සිත දැන ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මෙහි පංසුකූලය දිග හරිණසේක්වා’ යි මහත් ගලක් එළවා තැබුයේ ය. ඒ මේ ගල නො මිනිසකු විසින් එළවා තබන ලද්දේ ය” යි (වදාළසේක.) ඉක්බිති උරුවේලකාශ්යපජටිලයාහට “සක්දෙව් රජතෙමේත් යම් මහාශ්රමණයකුට වතාවත් කරන්නේ ද, ඒ මහාශ්රමණතෙමේ මහත් ඍද්ධිඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ උරුවේලකාශ්යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම විසූ සේක.