8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, මවුපියන් විසින් නො අනුදත් පුත්‍ර තෙමේ පැවිදි නො කළ යුතු ය. යමෙක් පැවිදි කරන්නේ නම දුකුළාඇවැත් වේ” යි වදාළ සේක.
රාහුල වස්තු කථාව නිමි.
1. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයෙහි කැමැති තාක් කල් වැස සැවැත් නුවර බලා වැඩි සේක. පිළිවෙළින් සැරිසරනා වඩනා සේක් සැවැත් නුවරට පැමිණ එහි ජේතවන නම් වූ අනාථපිණ්ඩිකසිටුහුගේ ආරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගේ උපස්ථායක කුලයක් “මේ දරුවා ස්ථවිරයන් වහන්සේ පැවිදි කරණ සේක්වා” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ වෙතට දරුවකු යැවී ය.
2. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සාමණේරයෝ දෙදෙනෙක් එකෙකු විසින් ලඟ තබා නො ගත යුත්තාහ’ යි පණවන ලද්දේ ය. මේ රාහුල තෙමේ ද මාගේ සාමණේරයෙක් වේ. එහෙයින් මෙහි දී මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි කල්පනා වි ය. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “මහණෙනි, ප්‍රතිබලසම්පන්න වූ ව්‍යක්ත වූ එක් භික්‍ෂුනමක් විසින් සාමණේරයන් දෙදෙනකුන් තබාගන්නට ද, යම් පමණ සාමණෙරයන්ට අවවාද කරන්නට අනුශාසනා කරන්නට පොහොසත් නම් එපමණ සාමණේරයන් තබා ගන්නට ද අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. එකල්හි සාමණෙරයන්ට “අපට කෙතෙක් ශික්‍ෂාපදයෝ වෙත් ද? අප විසින් කිනම් ශික්‍ෂාපදයන්හි හික්මිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, සාමණෙරයන්ට ශික්‍ෂාපද දසයක් ද සාමණේරයන් විසින් එහි හික්මෙන්නට ද අනුදනිමි. සතුන් මැරීමෙන් වැළකීම, නුදුන් දෙය ගැණීමෙන් වැළකීම, මෙවුන්දම් සෙවීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත් වීමට හා පමා වට කරුණු වූ රහමෙර බීමෙන් වැළකීම, විකල්බොජුනෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම් විසුළු දැක්මෙන් වැළකීම, මල් හා සුවඳ විලෙවුන් දැරීම අඩු තැන් පිරවීමෙන් සැරසීම අබරණ ලා සැදීම යන මෙයින් වැළකීම, උසසුන්මහස්නෙන් වැළකීම, රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකීම, මහණෙනි, සාමණෙරයන්ට මේ දශශික්‍ෂා පදයන් ද මේ දශශික්‍ෂාපදයන්හි හික්මෙන්නට ද අනුදනිමි” යි වදාළ සේක.
4. එකල්හි සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභාග පැවැතුම් නැත්තෝ ව වෙසෙති. භික්‍ෂූහු “කෙසේ නම් සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභාග පැවැතුම් නැත්තෝ ව වාසය කරත් දැයි” යි අවමන් කෙරෙත්, නින්‍දා කෙරෙත්. දොස් කියත්. මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ “මහණෙනි, කරුණු පසකින් යුත් සාමණේරයාහට දඬුවම් කිරීමට අනුදනිමි. භික්‍ෂූන්ට ලාභ නො ලැබෙන්නට උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ට උපද්‍රව පිණිස උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස උත්සාහ කෙරේ ද, භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරේ ද පරිභව කෙරේ ද, කේලාම් කියා භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවයි ද, මහණෙනි, මේ කරුණු පසින් යුත් සාමණේරයාහට දඬුවම් කරන්නට අනුදනිමි” යි වදාළ සේක.
5. එකල්හි භික්‍ෂූන්ට “කිනම් දඬුවමෙක් කළ යුතු දැ” යි සිත් විය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ‘මෙහි නො පිවිසෙව’ යි වළකන්නට අනුදනිමි.”