මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා මෙය වදාළ සේක: “මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මුහුදෙහි ඇලෙත් ද මුහුදෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය ධර්‍ම අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ පිළිවෙළින් නැඹුරු වූයේ පිළිවෙළින් ඉදිරියට නැමුණේ දිගට ම බෑවුම් ඇත්තේ නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් මිටි වූයේ ය. පිළිවෙළින් නැඹුරු වූයේ ය, පිළිවෙළින් ඉදිරියට නැමුණේ ය, දිගට ම බෑවුම් ඇත්තේ නො වේ ය යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මේ ඒ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නො යයි. මහණෙනි, මහමුහුද සිටි සබා ඇත්තේ ඉවුර ඉක්මැ නොයේ යන යමෙක් ඇද්ද, මෙය යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ මහමුහුදැ වූ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. මහණෙනි, මහමුහුද මළකුණක් හා එක් වැ නො වෙසෙයි. මහමුහුද යම් මළ කුණක් වේ ද එය වහා ම මුහුදු තෙරට පමුණුවයි, ගොඩට හෝ බායි. මහණෙනි, මහ මුහුද මළ කුණක් හා එක් ව නො වෙසෙයි, මහමුහුද යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවයි. ගොඩට බායි යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදැ ඇලෙත් නම් මේ ඒ මහමුහුදැ වූ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. මහණෙනි, ගංගා යමුනා අචිරවතී සරයු මහී යන මහා නදීහු වෙත් ද, ඔහු මුහුදට පැමිණියාහු පළමු නම් ගොත් හැරදමත්. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි,...යම් මහානදී කෙනෙක්.. මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක්..... මේ මහමුහුදැ වූ සතර වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකෙකි. ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙකුත් වැටෙත් ද එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, ලොවැ යම් ඇළ දොළ නදී කෙනෙක් මුහුදට වදිත් නම්, අහසින් වැසිදහර කෙනෙකුන් වැටෙත් නම්, එයින් මුහුදේ අඩු බවෙක් හෝ වැඩි බවෙක් හෝ නො පැනේය යන යමෙක්වේ ද මහණෙනි, යමක්... මෙය මහමුහුදේ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.
තව ද අනෙකක් කියමි. මහණෙනි, මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණුරස ඇත්තේ ය. මහමුහුද එක ම රසයක් ඇත්තේ ය, ලුණු රස ඇත්තේය යන යමෙක් ඇද්ද මහණෙනි, යමක්... මෙය ද මහ මුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යැ.