10.
භික්ඛුනීඛන්ධකය
1. එ සමයෙහි වනාහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ ශාක්ය රටෙහි කිඹුල්වත් නුවර අසල නුගඅරමෙහි වැඩ වසනසේක. එ කලැ මහාප්රජාවතී ගෞතමී භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළඹ ඔබ, වැඳ එක් පසෙක සිටියා ය. එක් පසෙක සිටියා වූ මහාප්රජාවතී ගෞතමී තොමෝ ‘වහන්ස, තථාගතයන් වහන්සේ දැන වදාළ දහම් විනය ඇති සස්නෙහි මාගම ද ගිහිගෙන් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනවැ’ යි. භාග්යවතුන් වහන්සේට මෙ බස් පැවැසුවා ය.
“ගෞතමීනි, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහිගෙන් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා.” යි භාග්යවතුන් වහන්සේ වදාළසේක.
දෙවෙනි වරද මහාප්රජාවතී ගෞතමී තොමෝ ... වහන්ස, මාගම ... පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි කීවා ය.
“ගෞතමීනි, කම් නැත. මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නො වේවා”යි භාග්යවතුන් වහන්සේ වදාළසේක.
තෙවෙනි වරද මහාප්රජාවතී ගෞතමී, තොමෝ “වහන්ස, මාගම පැවිද්ද ලබන්නී නම් මැනැවැ”යි කීවා ය.
“ගෞතමීනි, කම් නැත. තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි මාගමක පැවිදිවනු ඔබට රිසි නො වේවා” යි. භාග්යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති මහාප්රජාවතී ගෞතමී “මාගමට ගිහිගෙන් නික්ම තථාගත ප්රවිදිත සස්නෙහි පැවිද්ද භාග්යවතුන් වහන්සේ නො අනුදන්නා සේකැ” යි දුක් ඇත්තී, දොම්නස් ඇත්තී, කඳුළුපිරි මුහුණ ඇත්තී හඬමින් භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මගියා ය. එයට පසු භාග්යවතුන් වහන්සේ කිඹුල්වත්හි කැමැති තාක් වැස විසල්පුර බලා නික්මැ සැරිසරා වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩනාසේක්, විසල් පුරට පැමිණවදාළසේක. එ කලැ වනාහි භාග්යවතුන් වහන්සේ විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩ වසනසේක.
එ කලැ මහාප්රජාපතී ගෞතමී කෙහෙ සිඳුවා කසාවත් හැඳ බොහෝ ශාක්යස්ත්රීන් කැටුව විසල්පුර බලා නික්මියා ය. පිළිවෙළින් ගොස් විසල්පුර මහවෙහෙනහි කුළාරහලට එළැඹියා ය. එක්බිති මහාප්රජාපතී ගෞතමී ඉදිමුණු පයින් දුහුවිලී වැකි ගතින් යුතු වැ දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණ ඇත්තී හඬමින් බිහිදොරකොටුයෙහි සිටියා ය. එසේ සිටුනා පුජාපතී ගෞතමිය ආනන්ද තෙරණුවෝ දුටුවාහ. දැක “ගෞතමීනි, කවර හෙයින් තෙපි ඉදිමැගිය පයින් දුහුලි වැකි ගතින් යුතුව දුක් ඇත්තෝ, දොම්නස්, ඇත්තෝ, කඳුළු පිරි මුහුණැත්තෝ හඬන්නෝ මේ බිහි දොරකොටුයෙහි සිටිවු ද?”යි විචාළාහ. “ආනන්දයන් වහන්ස,එසේ මැ යැ. භාග්යවතුන් වහන්සේ මාගමට ගිහිගෙන් නික්ම තථාගතප්රවිදිත ශාසනයෙහි පැවිදි වන්නට නො අනුදන්නා සේකැ” යි. ඕ කීවා ය.
2. එසේ වී නම් ගෞතමීනි, මා මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්රවිදිත සස්නෙහි පැවිද්දට භාග්යවතුන් වහන්සේට යාච්ඤා කොට එන තෙක් තව මොහොතක් මෙහි ම පොරොත්තු වන්නැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
එක්බිති ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා වැඩියාහ. වැඩ ඔබ වැඳ පසෙක උන්හ. පසෙක හුන් ආනන්ද තෙරණුවෝ “වහන්ස මේ මහාප්රජාපතී ගෞතමී ඉදිමුණු පයින් දූලි වැකි ගතින් යුතුවැ “භාග්යවතුන් වහන්සේ මාගමට තථාගතප්රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට නො අනුදන්නාසේකැ” යි දුක් ඇත්තී දොම්නස් ඇත්තී, කඳුළුපිරි මුහුණ ඇත්තී හඬමින් සිටියා වෙයි. වහන්ස, මාගම තථාගතප්රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි වදාළහ.
“කම් නැත. අනඳයෙනි, මාගමට ගිහිගෙන් නික්මැ තථාගතප්රවිදිත ශාසනයෙහි පැවිද්ද තොපට රිසි නො වේවා” යි භාග්යවතුන් වහන්සේ වදාළසේක.
දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ ‘වහන්ස, මාගම පැවිද්ද ... ලබන්නී නම් මැනැවැ’ යී වදාළහ.
“අනඳයිනි, මාගමට ... පැවිද්ද තොපට රිසි නො වේවා”යි වදාළ සේක.
තෙවෙනි වරද ආනන්ද තෙරණුවෝ ‘වහන්ස, මාගම ... පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි වදාළහ.
“ආනන්දයිනි, මාගමට ... පැවිද්ද තොපට රිසි නො වේවා”යි (තෙවෙනි වරද) භාග්යවතුන් වහන්සේ වදාළහ.