පාමොක් උදෙසුම් යැදුම
1. එ සමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරැ මිගාරමාතු පාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ ඒ පොහෝ දිනයෙහි බික්සඟන විසින් පිරිවරන ලදු ව වැඩහුන් සේක.
එකලැ ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කලැ රෑ පළමු යම ඉක්මිකලැ හුනස්නෙන් නැඟී සිට උතුරුසඟ එකස් කොට භාග්යවතුන් වහන්සේ දිසාවට ඇඳිලිබැඳ වැඳ “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. පළමු යම ඉක්මියේ ය. භික්ෂුසංඝ තෙමේ වැඩ හුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ නිහඬව හුන් සේක.
දෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි මැදුම් යම ඉක්මි කල්හි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ වැඳ භාග්යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ඉක්මියේ ය. භික්ෂුසංඝ තෙමේ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ වේ. වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුනට පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවනුව ද භාග්යවතුන් වහන්සේ නිහඬව හුන්සේක.
තෙවෙනි වර ද ඇවත් අනඳ තෙරණුවෝ රැය ඉක්මි කල්හි පැසිම් යම ගෙවී අරුණු නැංග කල්හි රැය (පහන්වීමට ආසන්න බැවින්) නන්දිමුඛී නම් වේලාවෙහි හුනස්නෙන් නැගී උතුරුසඟ එකස් කොට භාග්යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට, “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ, අරුණු නැඟිණ, රෑ නන්දිමුඛී නම් වේලාවය. බික්සඟ වැඩහුන් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුනට පාමොක් උදෙසාවා”යි කීහ.
“අනඳයෙනි, පිරිස අපිරිසුදු යැ’යි භාග්යවතුන් වහන්සේ වදාළසේක.
2. එවිට ඇවත් මහමුගලන් තෙරණුවනට, “භාග්යවතුන් වහන්සේ කවර නම් පුඟුලකු සඳහා, අනඳය, පිරිස අපිරිසුදු යැ යි වදාළ සේක් දෝ”’යි මේ සිත විය. එ කලැ ඇවත් මහමුගලන් තෙරණුවෝ මුළු මහත් බික්සඟන තමන් සිතින් ඔවුන් සිත් පිරිසිඳැ මෙනෙහි කළහ. ඇවත් මහ මුගලන් තෙරණුවෝ සිල් නැති, ලාමක සබා ඇති, අපිරිසුදු වූ, සැකයෙන් සිහි කළ යුතු හැසුරුම් ඇති, වැසුණු ක්රියා ඇති, අශ්රමණ වැ ශ්රමණ ප්රතිඥාව කරන, බඹසැරිමියි පිළින කරන නමුත් බඹසරක් නැති, සිතතුළ කුණු ගැසුණු, කෙලෙසින් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ පුඟුලා දුටුසේක.
දැක ඒ පුඟුලා කරා එළඹියහ. එළඹ ඔහු බණවා, “ඇවත නැගී සිටුව, භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දේ වෙහි. භික්ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. මෙසේ කී කල්හි ඒ පුඟුල් තෙම නිහඬ විය.
දෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත, නැගී සිටු, භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළහ. දෙවෙනි වර ද ඒ පුඟුල් තෙම නිහඬ විය.
තෙවෙනි වර ද ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා බණවා, “ඇවත නැගී සිටු, භාග්යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. භික්ෂූන් හා එක් වැ විසීමෙක් තට නැතැ”යි වදාළ සේක. තෙවෙනි වර ද ඒ පුඟුලා නිහඬ වැ හුන්නේ ය.
ඉක්බිති ඇවත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුලා අතින් අල්ලා ගෙන දොරටුයෙන් පිටතට නික්මවා සුචිඝටිකාව දී භාග්යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ, භාග්යවතුන් වහන්සේට “වහන්ස, මා විසින් ඒ පුඟුලා නික්මැවිණ. පිරිස පිරිසුදු ය. වහන්ස, භාග්යවතුන් වහන්සේ භික්ෂුනට පාමොක් උදෙසන සේක් වා”යි වදාළහ.
“මෞද්ගල්යානයෙනි, ආශ්චර්ය්ය ය. මෞද්ගල්යානයෙනි, අද්භූතය. ඒ හිස් පුරුෂ තෙමේ අත්ලා ගන්නා තෙක් ම බලාපොරොත්තු වූයේ වේ දැ’යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
මුහුදේ ආශ්චර්ය්ය ධර්ම අට
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් බණවා මෙය වදාළ සේක: “මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මුහුදෙහි ඇලෙත් ද මුහුදෙහි වූ ඒ ආශ්චර්ය්ය ධර්ම අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්: