වැසිකිළි වත
13. එ සමයෙහි එක්තරා බ්රාහ්මණ ජාතික මහණෙක් මල පහ කොට ‘කවරෙක් නම්, දුගඳ වූ මෙ අශුචි අල්ලන්නේ දැ’යි කියා මල දොවන්නට නො කැමැති වෙයි. ඔහු ගේ මල මගැ කෘමිදෝෂය නැංගේ ය. එ කල ඒ මහණ (සෙසු) මහණුනට මෙ පවත් සැල කෙළේ ය.
“ඇවැත්නි, කිමෙක් ද? තෙපි මල පහ කොට නො සෝදවූ දැ”යි භික්ෂූහු විචාළහ.
“එසේ ය. ඇවැත්නි” යි ඒ මහණ කී ය.
අල්පෙච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මහණ තෙම මල පහකොට මලමඟ නො සෝදන්නේ දැ” යි ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණ, තෝ මල පහකොට (මල මඟ) නො සෝදහි ල. ඒ සැබෑ ද”යි භාග්යවතුන් වහන්සේ අසා වදාළසේක.
“වහන්ස, සැබවැ”යි ඒ මහණ කී ය ... භාග්යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා,
“මහණෙනි, මල පහකොට දිය ඇති කලැ නො ම නො සේදියැ යුතු. යමෙක් නො සෝදන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ”යි වදාළසේක.
14. එ සමයෙහි මහණහු වැසිකිළියෙහි වැඩිමහලු පිළිවෙළින් මල පහකෙරෙත්. නවක මහණහු වඩා පළමුවෙන් අවුත් වර්චසින් පීඩිත වැ (වාරය එන තුරු) බලාපොරොත්තු වෙත්. ඔහු වර්චස් වේගය උසුලන්නාහු මුසපත් වැ ඇදවැටෙත්. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි. සැබෑ දැ” යි අසා වදාළ සේක.
“සැබව, වහන්සැ” යි ඔහු කීහ. ... භාග්යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා,
“මහණෙනි, වැසිකිළියෙහි නො ම මහලු පිළිවෙළින් මල පහකළයුතු. යමෙක් එසේ කරන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, ආ පිළිවෙළින් මල පහකරන්නට අනුදනිමි”යි වදාළසේක.
15. එ සමයෙහි සවැගි මහණහු ඉතා වහා ද වැසිකිළියට වදිත්, සිවුර ඔසොවා ගෙන ද පිවිසෙත්. තතනමින් ද මල පහ කෙරෙත්. දැහැටි කමින් ද මල පහකෙරෙත්. වැසිකිළි ඔරුවෙන් පිටත්හි ද මල පහකෙරෙත්. මූත්ර ඔරුවෙන් පිටත්හි ද මූත්ර කෙරෙත්. මූත්ර ඔරුවෙහි ද කෙළ ගසත්. රළු කෝටුවෙකින් ද මලමඟ පිසදමත්. පුසන්දඩු ද වැසිකිළි වළෙහි හෙළත්, ඉතා වහා ද නික්මෙත්. සිවුර ඔසොවා ද නික්මෙත්. ‘චපු චපු’ යන හඬ නිකුත් කෙරෙමින් ද මලමඟ සෝදත්. මල සෝදන්නට. දිය ගන්නා බඳුනෙහි ද ජලය ඉතිරි කෙරෙත්. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජි වූ කුකුස් කරන්නා වූ ශික්ෂාකාමී යම් මහණ , කෙනෙක් වෙත් ද ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉතා ඉක්මනින් වැසිකිළියට වදින්නාහු ද ... මල සේදීමට දිය ගන්නා බඳුනෙහිත් දිය ඉතිරි කරන්නාහු දැ”යි ලාමක කොට සිතත් නින්දා කෙරෙත්, දොස් පතුරුවත්: