උපාධ්යාය වත්
16. එ සමයෙහි සද්ධිවිහාරික මහණහු උපාධ්යාය තෙරුන් කෙරෙහි මනා වැ නො පවතිත්. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡ ද... ඔහු “කෙසේ නම් සද්ධිවිහාරික මහණහු උපාධ්යායයන් කෙරෙහි මනා ව නො පවත්නහු දැ”යි පහත් කොට සිතත්, දොස් නගත්, අගුණ පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ.
“මහණෙනි, සද්ධිවිහාරික භික්ෂූහු උපාධ්යායයන් කෙරෙහි මනා කොට නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“සැබව භාග්යවතුන් වහන්සැ”යි භික්ෂූහු කීහ.
“මහණෙනි, සද්ධිවිහාරිකයෝ ... කෙසේ නම් උපාධ්යායයන් කෙරෙහි මනා කොට නො පිළිපදින්නාහු ද, මහණෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස ද පහන්වූවන්ගේ පැහැදීම වැඩි වීම පිණිස ද නො වන්නේ ය. වැලි දු එය නො පහන්වූවන්ගේ නො පැහැදීම පිණිස ද පහන් වූ ද එක්තරා කෙනකුගේ වෙනස් බව පිණිස ද වන්නේ යැ”යි වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා දැහැමි කථා කොට භික්ෂූන් අමතා මෙසේ වදාළසේක:
“මහණෙනි, එසේ වී නම් යම්සේ සද්ධිවිහාරිකයන් විසින් උපාධ්යායයන් කෙරෙහි පැවතියයුතු ද එසේ සද්ධිවිහාරිකයනට උපාධ්යායයන් කෙරෙහි පවත්නා ලෙසට වත් පනවන්නෙමි”.
“මහණෙනි, සද්ධිවිහාරිකයා විසින් උපාධ්යායයන් කෙරෙහි මනාව පැවතියැයුතු. මේ ඒ මනා පැවැත්ම යැ:
කලින් ම නැඟී සිට වහන් මුදා තනිපට සිවුර එකස් කොට පෙරෙවගෙන උපාධ්යායයාට දැහැටි දියැයුතු. මුවදෝනා ජලය දියහැයුතු. අසුන් පැනවියැයුතු. කැඳ ඇත් නම් කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දි බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක දු නො ගටමින් දෙවැ තැන් පත් කළයුතු. උපාධ්යායයා , නැගී සිටි කලැ අස්න ඉදිරියැයුතු.
ඒ තැන කැලිකුණු ගැසී ඇත් නම් හැමැන්දයුතු. උපාධ්යායයා ගම්වදිනු කැමැත්තේ වේ නම්, හඳනය දියැයුතු. පෙරළා දුන් හඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. පාත්රය සෝදා දිය සහිත ව (නො පිසදමා) දියැ යුතු. උපාධ්යාය තෙම පසුමහණකු කැමැත්තේ නම්, තිමඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා, ඉක්බිති පාත්රය සෝදා රැගෙන උපාධ්යායයාගේ පසුමහණකු වියැයුතු. ඉතා ඈත්හි නො යායුතු. ඉතා ළඟ නො යායුතු. පාත්රය ඇතුළත වූ දෑ පිළිගතයුතු.
උපාධ්යායයා කථා කරද්දී අතරතුර කථා නො හෙළියැයුතු. උපාධ්යායය තෙම ඇවතකට සමීප වැ කථා කරන්නේ වී නම්, එය වැළැක්වියැයුතු. (ගමින්) පෙරැළා එන්නාහු විසින් වඩා පළමු ව අවුත් අසුන් පැනවියැයුතු. පාදෝනා දිය පාපුටුව පාදකඨලිකාව ළං කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළූ හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. සිවුර (ඩහදියෙන්) තෙත් වී නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. සිවුර (වැඩිවේලාවක්) අව්වේ දමා තිබියයුතු නො වේ. සිවුර හැකිළියැයුතු. සිවුර හකුළන්නහු විසින් සිවුර මැද බිඳීමෙක් නො වේවා යි අදහස ඇති ව සිවුරු කොන අඟල් සතරක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන සිවුරු නැම්ම තුළ තැබියැයුතු.
17. ඉදින් පිණ්ඩභෝජනය තිබේ උපාධ්යායයාත් වළඳනු කැමැති වේ ද, පැන් පිළිගන්වා පිණ්ඩභෝජනය එළවියැයුතු. උපාධ්යායය තෙම පැනින් විචාළයුතු. වළඳා අවසන් කළ උපාධ්යායයාට පැන් පිළිගන්වා පාත්රය පිළිගෙන පහත් කොට (කිසිවෙක ද) නො ගටමින් මොනොවට සෝදා දිය පිස දමා මොහොතක් කල් උෂ්ණයෙහි (අව්වේ) රත් කළයුතු. උෂ්ණයෙහි පාත්රය. (වැඩි වේලා) තැබියැයුතු නො වේ. පාසිවුරු තැබියැයුතු. පාත්රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්රය ගෙන එක් අතෙකින් ඇඳයට හෝ පුටුව යට පිරිමැද පාත්රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමෙහි පාත්රය නො ම තැබියැයුතු.
සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුර වනන උණලීය හෝ සිවුර වනන ලනුව පිස දමා සිවුරු කෙළවර එහා පැත්තට ද සිවුරුනැම්ම මෙහා පැත්තට ද කොට සිවුර තැබියැයුතු.
උපාධ්යායයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. පා දෝනා දිය ද පා පුටුව ද පා තබන ලෑලි කඩ ද සුරැකි කොට තැබියැයුතු. ඒ පෙදෙස කුණු සහිත වේ නම් එය ඇමැන්දයුතු.
ඉදින් උපාධ්යාය තෙම නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙළ කළයුතු. සිසිල් දිය වුව මනා වී නම් සිසිල් දිය පිළියෙළ කළයුතු. උණු දිය වුව මනා වී නම් උණු දිය පිළියෙළ කළයුතු. උපාධ්යාය තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ නම්, (ඇඟ ගානා) සුණු සිනිඳු කළයුතු. ඇඟැ ගානා මැටි තෙමියයුතු. ගිනිහල් පුටුව ගෙන උපාධ්යායයා පිටුපසින් ගොස් ගිනිහල් පුටුව දී සිවුර පිළිගෙන එක් පසෙක තැබියැයුතු. ඇඟ මදිනා සුණු දියැ යුතු. ඇඟැ ගාන මැටි දියැයුතු. හැක්කේ නම් ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරි පසින් ද පිටු පසින් ද කය වසා ගිනිහල් ගෙට පිවිසියයුතු.