සද්ධිවිහාරික වත
22. එ සමයෙහි වනාහි උපාධ්‍යායයෝ සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ මඳ වරදෙහි ද කුකුස් කරන, සිඛ කැමැති යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් උපාධ්‍යායයෝ සද්ධිවිහාරික මහණුන් කෙරෙහි මනා ව නො පවතිත් දැ’යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
ඉක්බිති එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. “මහණෙනි, උපාධ්‍යායයෙන් සද්ධිවිහාරිකයන් කෙරෙහි මනා ව නො පවතිත් ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක.
“සැබැවැ වහන්සැ,”යි භික්‍ෂූහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ... වෙසෙසින් ගරහා දැහැමි කථා,කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම්, උපාධ්‍යායයන් විසින් සද්ධිවිහාරිකයන් කෙරෙහි යම් සේ පැවතියැයුතු ද, එසේ උපාධ්‍යායනට සද්ධිවිහාරිකයන් කෙරෙහි වත් පනවන්නෙමි.”
“මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මැනවින් පැවතියැයුතු. එහි මේ ඒ මනා පැවැත්ම ය:
මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරික තෙම උදෙසීමෙන් (පෙළදහම්, කියැවීමෙන්) ද නැවත නැවත විචාරීමෙන් ද අවවාදයෙන් ද අනුශාසනයෙන් ද සංග්‍රහ කළයුතු අනුග්‍රහ කළ යුතු. ඉදින් උපාධ්‍යායයාගේ පාත්‍රයෙක් වේ ද, (ඒ අතර) සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් නැද්ද, උපාධ්‍යායා විසින් සද්ධිවිහාරිකයාට පාත්‍රය දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පාත්‍රයෙක් උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට සිවුරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට සිවුරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට සිවුරක් උපදයෙන් දැ’ යි උත්සුක බව හෝ කළයුතු. ඉදින් උපාධ්‍යායයාට පිරිකරෙක් වේ ද, සද්ධිවිහාරිකයාට පිරිකරෙක් නො වේ ද, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයාට පිරිකර දියැයුතු. ‘කෙසේ නම් සද්ධිවිහාරිකයාට පිරිකර උපදනේ දැ’ යි උත්සුක බව හෝ කළයුතු.
23. ඉදින් සද්ධිවිහාරිකයා ගිලන් වේ නම්, කලින් ම නැඟී සිට දැවටු දියැයුතු. මුව දෝනා පැන් දියැයුතු. අසුන් පැනවියැ යුතු. ඉදින් කැඳ ඇත් නම් බඳුනක් දෙවැ කැඳ එළවියැයුතු. කැඳ පූවාහට පැන් දී බඳුන පිළිගෙන පහත් කොට මනාව කිසිවෙක නො ගාවමින් සෝදා සුරැකි කොට තැබියැයුතු. සද්ධිවිහාරිකයා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් ඒ පෙදෙස කුණුරොඩු සහිත වී නම් එය ඇමැන්දැයුතු.
ඉදින් සද්ධිවිහාරිකයා ගමට යනු කැමැත්තේ වී නම් හඳනය දියැයුතු. පිළිහඳනය (පෙරැළු හඳනය) පිළිගතයුතු. කාබාන දියැ යුතු. සගුණ කොට සඟළ සිවුරු දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. මෙතෙක් වේලාවෙකින් පෙරළා එන්නේ යැ යි සලකා අසුන් පැනවියැයුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටැලිය ළංකොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පෙරැළු හඳනය දියැයුතු. හඳනය පිළිගතයුතු. ඉදින් සිවුර ඩහදිය වැකුණේ වී නම් මොහොතක් අව්වේ වියැලියැයුතු. සිවුර අව්වේ බොහෝ වේලා නො තැවියැයුතු. සිවුර හැකිළියැ යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳීමෙක් නො වේව’ යි සලකා සිවුරු කෙළවර සතරඟුලක් උඩට ඇද සිවුර ඇකිළියැයුතු.
ඉදින් පිණ්ඩපාතය වේ නම්, සද්ධිවිහාරිකයාත් වළඳනු කැමැත්තේ වේ නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළැවියැයුතු. සද්ධිවිහාරික තෙම පැනින් විචාළයුතු. වැළඳුවාහට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට මනා කොට, කිසිවෙකත් නො ගාමින් සෝදා, දිය සිඳුවා, මොහොතක් අව්වේ වියලියැයුතු. පාත්‍රය උෂ්ණයෙහි බොහෝ වේලා නො තැබියැයුතු. පාසිවුරු තැබියැ යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිත් නො අතුළ බිමැ පාත්‍රය. නො ම තැබියයුතු.