ඇදුරු වත්
26. එ සමයෙහි වනාහි අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා වැ නො පවතිත්. අපිස් සතොස් ගුණ ඇති ලජ්ජි වූ කුකුස් කරන ශික්ෂාකාමී යම් මහණ කෙනෙක් වෙත් ද ඔහු ‘කෙසේ නම් අතැවැසියෝ ඇදුරන් කෙරෙහි මනා ව නො පවත්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්දා කරත්, නො ගුණ පතුරුවත්, ඉක්බිත්තෙන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, අතැවැසි මහණහු ඇදුරු මහණුන් කෙරෙහි මොනොවට නො පවතිත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසාවදාළසේක. “සැබැව, වහන්සැ” යි භික්ෂූහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කතා කොට, භික්ෂූන් අමතා “මහණෙනි, එසේ වී නම් අතැවැස්සන් විසින් ඇදුරන් කෙරෙහි යම්සේ පැවතියැයුතු ද එසේ අතැවැස්සනට ඇදුරුවත පනවන්නෙමි” යි වදාරා පහත දැක්වෙන පරිදි ඇදුරුවත පැනවූ සේක.
“මහණෙනි, අතැවැස්සා විසින් ඇදුරා කෙරෙහි මනාවැ පැවතියැ යුතු. එහි මේ මනා පැවැත්ම යි:
කලින් ම නැඟී සිට වහන් මුදා උතුරුසඟ එකස් කොට ගෙන දැවටු දියැයුතු. මුවදෝනා ජලය දියැයුතු. අසුන් පැනවියැයුතු. ඉදින් හුළුකැන් ඇත් නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට පැන් පිළිගන්වා බඳුන පිළිගෙන පහත් කොට කිසිවෙක ද නො ගාවමින් මොනොවට දෙවැ සුරැකි කොට තැබියැයුතු. ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු.
ඉදින් එ පෙදෙස කුණු රොඩු සහිත වී නම් එ තැන හැමැන්ද යුතු. ඉදින් ඇදුරු තෙම ගම් වදිනු කැමති වී නම්, හඳනය දියැ යුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබාන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ඉදින් ඇදුරු තෙම පසුමහණකු කැමැත්තේ නම් තිමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙවැ ගැට වටු ගන්වා පාත්‍රය සෝදා අතට ගෙන ඇදුරහුගේ පසුමහණ වියැයුතු. ඉතා දුරැ නො යා යුතු. ඉතා ළඟ නො යායුතු. පාත්‍රයට ලැබුණු දෑ පිළිගතයුතු.
27. ඇදුරහු කථා කරද්දී අතරතුරැ කථා නො හෙළියැ යුතු. ඇදුරු ඇවැතකට අවදනට ළං ව බණනුයේ වැළැක්වියහැයුතු. පෙරළා එන්නහු විසින් වඩා පළමුවෙන් අවුත් අස්නක් පැනවියහැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද ළං කොට තැබියැ යුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගතයුතු. පිළිනිවස්න දියැ යුතු. නිවස්න පිළිගතයුතු. සිවුර ඩහදියෙන් තෙත් වූයේ වේ නම්, මොහොතක් අව්වේ වියලියැයුතු. අව්වේ බොහෝ වේලාවක් නො තැබියැයුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුරු මැද බිඳීමෙක් නොවේව’ යි සිතා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද හැකිළියැයුතු. කාබහන නමා චීවරභෝගයෙහි (සිවුරේ නැමුම් පොට තුළැ) ලියැයුතු.
ඉදින් පිණ්ඩපාත භෝජනය තිබේ නම්, ඇදුරාත් වළඳනු කැමැත්තේ වී නම්, දිය පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. ඇදුරු තෙම පැනින් විචාළයුතු. වැළඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන කිසිවෙක නොගාවමින් පහත් කොට මොනොවට සෝදා දිය රහිත කොට (තෙත මාත්තු කොට) මොහොතක් අව්වේ වියැලිය යුතු. පාත්‍රය වැඩිවේලාවක් අව්වේ දමා නො තැබියයුතු. පාසිවුරු තැබියහැයුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන එක් අතෙකින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබියැයුතු. කිසිවක් නො අතුළ බිමැ පාත්‍රය නො තැබියයුතු. සිවුරු බහා තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන එක් අතෙකින් සිවුරු වස හෝ සිවුරු රැහැන පිරිමැද සිවුරු කොන පිටතට ද සිවුරු නැම්ම මෑතට (තමා සිටින පැත්තට) ද කොට සිවුර තැබියයුතු.
ඇදුරහු නැඟී සිටි කල්හි අස්න ඉදිරියැ යුතු. පා දෝනා දිය, පාපුටුව, පාකටදැලිය සුරැකි කොට තැබියයුතු. ඉදින් එ තැන කුණු වැකී ඇත් නම් හැමැන්දයුතු.
ඉදින් ඇදුරු තෙම නානු කැමැත්තේ වී නම්, නාන දිය පිළියෙළ කළයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙළ කළයුතු. උණුදිය වුවමනා නම් උණුදිය පිළියෙල කළයුතු. ඉදින් ඇදුරු තෙම ගිනිහල් ගෙට පිවිසෙනු කැමැත්තේ වී නම් නාන සුණු දියෙන් තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ඇදුරු පිටුපසින් ගොස් එය දී සිවුරු පිළිගෙන එක් පසෙක තැබියැ යුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ වී නම් තමා ගිනිහල් ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට වදනහු විසින් මැටියෙන් මුහුණ වකා (මැටි මූණේ ගා) ඉදිරි පසින් ද පිටු පසින් ද වසා ගෙන ගිනිහල් ගෙට පිවිසියැයුතු.