අතැවැසි වත්
31. එ සමයෙහි ඇදුරෝ ඇතැවැසියන් කෙරෙහි මනා ව නො පවතිත්. අල්පෙච්ඡ වූ, ලද පමණින් සතුටු වන, ලජ්ජි වූ, මඳ කරුණෙහි ද කුකුස් කරන, ශික්‍ෂාකාමී වූ යම් මහණ කෙනෙක් ඇද් ද ඔහු ‘කෙසේ නම් ඇදුරෝ අතැවැසියන් කෙරෙහි මනාව නො පවත්නාහු දැ’යි පහත් කොට සලකත්, නිගා කෙරෙත්, දොස් පතුරුවත්. එ කල්හි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
එ විට භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි බික්සඟන රැස් කරවා භික්‍ෂූන් බණවා “මහණෙනි, සැබෑ ද, ඇදුරෝ අතැවැසියන් කෙරෙහි මනා ව නො පවතිත් දැ” යි අසා වදාළසේක. “සැබැව වහන්සැ”යි එ මහණහු කීහ... වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, “මහණෙනි, එසේ වී නම්, අතැවැස්සන් කෙරෙහි ඇදුරන් විසින් යම්සේ පැවතියැයුතු ද, එසේ අතැවැස්සන් කෙරෙහි ඇදුරන්ගේ වත පනවන්නෙමි”යි . (අමතා) මෙසේ වදාළසේක:
“මහණෙනි, ඇදුරා විසින් ඇතැවැසියා කෙරෙහි මනා වැ පැවතියැයුතු. එහි ලා මේ මනා පැවැත්ම යි.
මහණෙනි, ඇදුරා විසින් උදෙසීමෙන්, පරිපුච්ඡායෙන් (යළි යළි විචාරීමෙන්), අවවාදයෙන්, අනුශාසනායෙන් සංග්‍රහ කළයුතු. අනුග්‍රහ කළයුතු. ඉදින් ඇදුරුහට පාත්‍රයෙක් වේ ද, අතැවැසියාට පාත්‍රයෙක් නො වේ ද, ඇදුරා විසින් අතැවැස්සාට පාත්‍රය දියයුතු. ‘කෙසේ නම් අතැවැසියාට පාත්‍රයෙක් උපදනේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
ඉදින් ඇදුරුහට සිවුරෙක් වේ ද, අතැවැසියාට සිවුරෙක් නො වේ ද, ඇදුරා විසින් අතැවැස්සාට සිවුර දියැයුතු. ‘කෙසේ නම් අතැවැසියාට සිවුරෙක් උපදනේ දෝ’යි උත්සුක බව හෝ කළයුතු.
ඉදින් ඇදුරුහට පිරිකරෙක් වේ ද, අතැවැසිහට පිරිකරෙක් නො වේ. ද, ‘කෙසේ නම් අතැවැසිහට පිරිකරෙක් උපදනේ දැ’යි උත්සුක බව හෝ කළයුතු.
32. ඉදින් අතැවැසි තෙම ගිලන් වේ ද, ඇදුරහු විසින් කලින් ම නැඟී සිට දැහැටි දියැයුතු. මුව දෝනා දිය දියැයුතු. අස්නක් පැනවියැ යුතු. හුළුකැන් වේ නම්, බඳුනක් දෙවැ හුළුකැන් එළවියැයුතු. හුළුකැන් පූවාහට දිය පිළිගන්වා බඳුන පිළිගෙන, පහත් කොට කිසිවෙක නො ගාමින්, දෙවැ සුරැකි කොට තැබියැයුතු. අතැවැස්සා නැඟී සිටි කල්හි අස්න ඉදිරියැයුතු. ඉදින් එ තැන කුණුරොඩු සහිත වේ නම්, එය හැමැන්දයුතු.
ඉදින් අතැවැසි තෙම ගම් වදිනු කැමැත්තේ වී නම්, හඳනා සිවුර දියැයුතු. පිළිහඳනය පිළිගතයුතු. කාබහන දියැයුතු. සඟළ සිවුරු සගුණ කොට දියැයුතු. සෝදා දිය සහිත පාත්‍රය දියැයුතු. ‘මෙ තෙකින් පෙරළා එන්නේ යැ’යි සලකා අස්නක් පැනවියැයුතු. පාදෝනා දිය, පාපුටුව, පාකටැලිය ඉදිරිපත් කොට තැබියැයුතු. පෙර ගමන් කොට පාසිවුරු පිළිගත යුතු. පිළිහඳනය දියැ යුතු. හඳනය පිළිගතයුතු.
ඉදින් සිවුර ඩහදියෙන් ද තෙත් වී නම් මොහොතක් අව්වේ වියැලිය යුතු. සිවුර අව්වේ තිබෙන්නට නො හැරියැ යුතු. සිවුර හැකිළිය යුතු. සිවුර හකුළන්නහු විසින් ‘සිවුර මැද බිඳුමෙක් නො වේව’යි සලකා සිවුරු කොන සතරඟුලක් උඩට ඇද නැමියැ යුතු. සිවුරු නැම්මෙහි කාබහන තැබියයුතු.
33. ඉදින් පිණ්ඩපාතය ඇත් නම්, අතැවැසියා ද වළඳනු කැමැත්තේ වේ නම්, පැන් පිළිගන්වා පිණ්ඩපාතය එළවියැයුතු. අතැවැසි තෙම පැනින් පිළිවිසියැයුතු. වැළැඳුවහුට දිය පිළිගන්වා පාත්‍රය පිළිගෙන පහත් කොට කිසිවෙක නො ගටමින් මනා කොට සෝදා දිය රහිත කොට මොහොතක් අව්වේ වියැලියැ යුතු. පාත්‍රය අව්වේ තිබෙන්නට හැරැ නො යා යුතු. පා සිවුරු තැබිය යුතු. පාත්‍රය තබන්නහු විසින් එක් අතෙකින් පාත්‍රය ගෙන අනිත් අතින් ඇඳ යට හෝ පුටුව යට හෝ පිරිමැද පාත්‍රය තැබිය යුතු. කිසිවෙකින් නො අතුරන ලද බිමැ පාත්‍රය නො තැබිය යුතු. සිවුර තබන්නහු විසින් එක් අතෙකින් සිවුර ගෙන අනිත් අතින් සිවුරු වස හෝ සිවුරු රැහැන පිරිමැද සිවුර , කෙළවර ඔබ්බෙහි ද සිවුරු නැම්ම, මොබ්බෙහි ද කොට සිවුර තැබියයුතු. අතැවැසියා නැගීසිටි කල්හි අස්න ඉදිරියැයුතු. පාදෝනා දිය ද පාපුටුව ද පාකටැලිය ද සුරැකි කොට තැබියයුතු.
ඉදින් එ තැන කුණුරොඩු සහිත වී නම්, හැමැන්දයුතු. ඉදින් අතැවැසියා නානු කැමැති වේ නම්, නාන දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් සිසිල් දියෙන් ප්‍රයෝජන වේ නම්, සිසිල් දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් උණු දියෙන් ප්‍රයෝජන වේ නම්, උණු දිය පිළියෙල කැරැ දියැයුතු. ඉදින් අතැවැස්සා ගිනිහල්ගෙට පිවිසෙනු කැමැති නම්, නාන සුණු තෙමා ගුලි කළයුතු. මැටි තෙමියැයුතු. ගිනිහල් පුටුව ගෙන ගොස් සිවුර පිළිගෙන එක් පසෙක තැබියයුතු. නාන සුණු දියැයුතු. මැටි දියැයුතු. හැක්කේ නම්, ගිනිහල්ගෙට පිවිසියැයුතු. ගිනිහල් ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුහුණ වකා ඉදිරියෙන් ද පිටුපසින් ද වසා ගිනිහල් ගෙට පිවිසියැයුතු.