ජන්තාඝර වත
11. එ සමයෙහි වනාහි සවැගි මහණහු ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු ආදරගෞරව නැති බැවින් බොහෝ දර නංවා (ගොඩ ගසා) ගිනි දල්වා දොර වසා දොර කඩැ හිඳිත්. භික්‍ෂූහු උෂ්ණයෙන් බොහෝ සෙයින් තැවුණාහු දොර කඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙත්. අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුකුස් කරන්නාවූ සික කැමැත්තා වූ යම් මහණ කෙනෙක් වෙත් ද , ඔහු “කෙසේ නම් සවැගි මහණහු ගිනිහල් ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු, අනාදර බව නිසා බොහෝ දර ගොඩ ගසා ගිනි දල්වා දොර වසා දොරකඩට වී ඉන්නාහු ද, භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොරකඩ නො ලබන්නාහු මුසපත් වැ වැටෙතැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ.
“මහණෙනි, සවැගි, මහණහු ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන්නාහු අනාදර බව නිසා බොහෝ දර ගොඩගසා ගිනි දල්වා දොර වසා දොරැ හිඳිත් ල. භික්‍ෂූහු උෂ්ණයෙන් අධික වැ තැවුණාහු දොර නො ලබන්නාහු (පිටත යෑමට දොර නාරින බැවින්) මුසපත් වැ ඇදවැටෙත් ල. ඒ සැබෑ දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, සැබැවැ”යි ඔහු කීහ. ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට, භික්‍ෂූන් බණවා,
“මහණෙනි, ගිනිහල්ගෙහි ස්ථවිර භික්‍ෂූන් විසින් වළක්වනු ලබන මහණහු විසින් අනාදර බව නිසා බොහෝ දර නංවා ගිනි නො දැල්වියැයුතු. යමෙක් ගිනි දල්වන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, දොර වසා දොරැ නො හින්දැයුතු. යමෙක් ඉඳින්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක. (ඉක්බිති මෙසේ ද වදාළ සේක.):
12. “මහණෙනි, එසේ වී නම් භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි පැවතියයුතු පරිදි භික්‍ෂූනට ගිනිහල්ගෙහි වත පනවන්නෙමි”.
“යමෙක් පළමු කොට ගිනිහල්ගෙට යන්නේ ද, ඉදින් අළු ගොඩගැසී ඇත් නම් අළු බැහැර දමාලියයුතු. ඉදින් ගිනිහල්ගෙය කැළිකසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිල්කඩ කැලි කසළ සහිත වේ නම් එය හැමැන්දයුතු. ඉදින් පිරිවෙන (ගිනි හලත් පවුරත් අතරැ පෙදෙස) කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ඉදින් දොර කොටුව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. ගිනිහල්ගෙහි ශාලාව කැළිකසළ සහිත වේ නම්, එය හැමැන්දයුතු. නානසුණු දියෙන් තෙමා ගුලි කළයුතු නාන මැටි තෙමියයුතු. දිය ඔරුවෙහි දිය වත් කළයුතු. ගිනිහල්ගෙට පිවිසෙන්නහු විසින් මැටියෙන් මුව වකා (මුහුණේ මැටි ආලේප කොට) ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල්පුටුව ගෙන ගිනිහල්ගෙට පිවිසියැයුතු. ස්ථවිර භික්‍ෂූන් මැදට කඩා පැන නො හින්දැයුතු. නවක භික්‍ෂූහු ඔවුන් හුන් අස්නෙන් නො ම නෙරපියැයුතුහ. හැක්කේ නම්, ගිනිහල්ගෙහි දී ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ගිනිහල් ගෙයින් නික්මෙන්නහු විසින් ගිනිහල් පුටුව ගෙන ඉදිරි පසින් ද පිටු පසින් ද වසාගෙන ගිනිහල් ගෙයින් නික්මියැයුතු. හැක්කේ නම්, දියෙහි ද ස්ථවිර භික්‍ෂූනට පිරියම් කළයුතු. ස්ථවිර භික්‍ෂූනට ඉදිරියේ (සිට) නො නෑයුතු. ස්ථවිර භික්‍ෂූනට මත්තෙහි (ඉහළින්) සිට නො නෑයුතු. නා ගොඩ නැගෙන්නහු විසින් දියට බස්නාවුනට මඟ හැරියයුතු. යමෙක් පසුවැ ගිනිහල්ගෙයින් නික්මේ ද ගිනිහල්ගෙය මඩ වී ඇතොත්, ඔහු විසින් එය සේදියැ යුතු. මැටි බහා ලන ඔරුව දෙවැ ගිනි හල් පුටුව තැන් පත් කොට තබා ගිනි නිවා දොර වසා නික්ම යෑ යුතු.
මහණෙනි, භික්‍ෂූන් විසින් ගිනිහල්ගෙහි යම්සේ පැවතියැයුතු ද, මේ ඒ භික්‍ෂූන්ගේ ගිනිහල්ගෙහි වත යි.
වැසිකිළි වත
13. එ සමයෙහි එක්තරා බ්‍රාහ්මණ ජාතික මහණෙක් මල පහ කොට ‘කවරෙක් නම්, දුගඳ වූ මෙ අශුචි අල්ලන්නේ දැ’යි කියා මල දොවන්නට නො කැමැති වෙයි. ඔහු ගේ මල මගැ කෘමිදෝෂය නැංගේ ය. එ කල ඒ මහණ (සෙසු) මහණුනට මෙ පවත් සැල කෙළේ ය.
“ඇවැත්නි, කිමෙක් ද? තෙපි මල පහ කොට නො සෝදවූ දැ”යි භික්‍ෂූහු විචාළහ.
“එසේ ය. ඇවැත්නි” යි ඒ මහණ කී ය.