සෙනසුන් වත්
7. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි හිඳ සිවුරුවම් (සිවුරු මැහීම් ආදි කටයුතු) කෙරෙත්. සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දැමූහ. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහ. අල්පෙච්ඡ වූ සන්තුෂ්ට වූ ලජ්ජී වූ කුක්කුච්චක වූ ශික්‍ෂා කැමැති වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳ පුටු ගසා දමත් ද භික්‍ෂූහු දූවිල්ලෙන් වැකුණාහු යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්. නො ගුණ පතුරුවත්.”
ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ. “මහණෙනි, සවැගි මහණහු ඉදිරි මිදුලෙහි උඩුසුළඟෙහි ඇඳපුටු ගසා දැමූහු ල. භික්‍ෂූහු දුහුවිල්ලෙන් වැකුණාහු ල. ඒ සැබෑ දැ”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“සැබැවැ භාග්‍යවතුන් වහන්සැ”යි භික්‍ෂූහු උත්තර දුන්හ... භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් සෙනසුනැ පැවැතිය යුතු පරිදි භික්‍ෂූනට සෙනසුන් වත පනවන්නෙමි” යි වදාරා මතු දැක්වෙන වත පැනවූ සේක.
8. “යම් වෙහෙරෙකැ වෙසේ ද, ඉදින් ඒ වෙහෙර කැලි කසළ සහිත වේ නම්, ඉදින් හැක්කේ නම් ශුද්ධ කළයුතු. වෙහෙර ශුද්ධ කරන්නහු විසින් පළමු කොට පාසිවුරු පිටත ගෙන ගොස් එක් පසෙක තැබියයුතු. නිසීදනය ද පසතුරුණ ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. බිස්ස ද කොට්ටය ද බැහැර කොට එක් පසෙක තැබියයුතු. ඇඳ පහත් කොට කවුළු පිටැ (දොරපළු පිට) ද නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. පුටුව පහත් කොට කවුළුපිටැ නො ගාවමින් නො ගටමින් මොනවට බැහැර කොට එක් පසෙකැ තැබිය යුතු. ඇඳ පා අලු බැහැර කොට එක් පසෙකැ තැබියයුතු. කපාටපෘෂ්ඨය (දොර පළු පිට) පහත් කොට මොනොවට කිසිවෙක ද නො ගාවමින් නො ගටමින් බැහැරැ කොට එක් පසෙක තැබියැ යුතු. කෙළමලාව බැහැර කොට එක් පසෙක තැබියැයුතු. හේත්තු වන පුවරුව බැහැර කොට එක් පසෙකැ තැබියැයුතු. බුමුතුරුණ පනවා තුබුණු පරිදි සලකා බැහැර කොට එක් පසෙක තැබියැයුතු.
ඉදින් වෙහෙරැ මකුළු දැල් වේ ද, පළමුවෙන් ඉහළ සිට පහතට ඉවත, කළයුතු. ආලෝකසන්ධි භාගයෝ ද (ඇතුළත පිටතැ වූ වාබෝනයන්හි දොරපළු ද) කර්ණභාගයෝ ද (කාමරයේ ඇතුළත සතර කොන් ද) පිස දැමියැයුතු. ඉදින් ගුරු පිරියම් කැරුණු බිත්තිය කුණු වැකියේ වී නම්, රෙදි කඩක් තෙමා මිරිකා පිසදැමියැයුතු. ඉදින් බිම කළුපැහැ කරන ලද නම්, වෙහෙර දූවිල්ලෙන් නො වැකේවා යි (දූවිල්ලෙන් නොවැකෙනු පිණිස) දිය ඉස ඉස පිස දැමියයුතු. කසළ රැස්කොට එක් පසෙකැ දැමියැ යුතු. භික්‍ෂූන් සමීපයෙහි සෙනසුන් නො ගසාදැමියයුතු. වෙහෙර සමීපයෙහි සෙනසුන නො ගසාදැමියැයුතු. බොන දිය සමීපයෙහි සෙනසුන නොගසා දැමියැයුතු. පරිභෝග ජලය සමීපයෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. ඉදිරි මිදුලෙහි උඩුසුළගෙහි සෙනසුන නො ගසා දැමියැයුතු. යටි සුළඟෙහි සෙනස්න නොගසා දැමියනැයුතු.