ආරණ්‍යක වත්
4. එ සමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු වෙනෙහි වෙසෙත්. ඔහු පැන් නො ම එළවා තබත්. පරිභෝග ජලය නො ම එළවා තබත්. ගිනි නො ම එළවා තබත්. උපකරණ සහිත ගිනිගානා දඬු එළවා නො තබත්. නකත්පද නො දනිත්. දිශාභාග නො දනිත්. සොරු එහි ගොස්, ‘වහන්ස පැන් ඇත් දැ’ යි විචාරත්.
ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි, නැතැ’ යි කියත්.
‘වහන්ස, පරිභෝග ජලය ඇත් දැ’ යි අසත්,
‘නැත, ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.
‘වහන්ස, ගිනි ඇද්දැ’ යි අසත්.
‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.
‘උපකරණ සහිත ගිනිගානා දඩු ඇද්දැ’ යි ඔහු අසත්,
‘ඇවැත්නි, නැතැ’ යි භික්‍ෂූහු කියත්.
‘වහන්ස, නකත්පද ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,
‘නො දනිමු ඇවැත්නි’ යි භික්‍ෂූහු කියත්.
‘වහන්ස, දිශාභාග ඇද්ද (දනිවු දැ)’ යි සොරු අසත්,
‘ඇවැත්නි, නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.
‘වහන්ස, අද කවර නැකතෙකින් යුක්ත දැ’ යි සොරු අසත්.
‘ඇවැත්නි, අපි නො දනිමු’ යි භික්‍ෂූහු කියත්.
‘වහන්ස, මේ කවර නම් දිශාවෙක් දැ’ යි සොරු අසත්.
‘ඇවැත්නි, අපි නො දනුම්හ’ යි භික්‍ෂූහු කියත්.
එ කල්හි සොරු, “මොවුන් වෙත පැන් නො මැත, පරිභෝග දිය නො මැත, ගිනි නොමැත, උපකරණ සහිත ගිනිගානා දඬු නො මැත, නකත්පද නො දනිත්, දිශාභාගය නො දනිත්, මොහු භික්‍ෂූහු නො වෙත්, මොහු සොරුහ” යි. ඒ භික්‍ෂූන් තළා පෙළා නික්මැ ගියාහ. ඉක්බිති ඒ මහණහු මහණුනට මෙ පවත් දැන්වූහ. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට “මහණෙනි, එසේ වී නම් ආරණ්‍යක භික්‍ෂූන් විසින් පැවතියැයුතු පරිදි ඔවුනට වත් පනවන්නෙමි” යි වදාරා, මතු දැක්වෙන වත් පැනවූහ:
5. “මහණෙනි, ආරණ්‍යක භික්‍ෂූහු විසින් කලින් ම නැඟී සිට, පාත්‍රය පසුම්බියෙහි බහා, දසරුවෙහි එල්ලා ගෙන සිවුර කරෙහි කොට (කරට දමා ගෙන) පාවහන් නැඟ, දැව බඩු ද මැටි බඩු ද තැන්පත් කොට තබා දොරවල් හා වාකවුළු වසා, දැන් ගමට පිවිසෙන්නෙමි යි සිතා සෙනස්නෙන් බැස්සයුතු. පාවහන් මුදා පහත් කොට ගසා දමා, ථවිකායෙහි බහා, දසරුවෙහි එල්ලා, තුන්මඬුලු වසා පිරිමඬුලු කොට හැඳ කාබහන බැඳ සගුණ කොට සඟළ සිවුරු පෙරෙව ගැටවටු ගන්වා, පාත්‍රය සෝදා ගෙන මොනොවට යුහුසුලු නො වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ඇතුළුගමැ යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනාසීමෙන් තොර වැ ... නිහඬ වැ ගමෙහි යායුතු. කය සොලොවමින් නො යායුතු ... අත් සොලොවමින් ... හිස සොලොවමින් ... ඉඟහැ අත් ගසා ගෙන ... හිස වසා පෙරෙ වැ ... උත්කුටිකායෙන් ගමැ නො යා යුතු.