පිණ්ඩචාරික වත
1. එ සමයෙහි පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙත්, නො සලකා ද ගෙට පිවිසෙත්, නො සලකා ද ගෙන් නික්මෙත්, ඉතා හදිසියෙන් ද ගෙට පිවිසෙත්, ඉතා හදිසියෙන් ද, නික්ම යෙත්, ඉතා ඈත්හි ද, සිටිත්, ඉතා ළඟ ද සිටිත්, ඉතා බොහෝ වේලා ද සිටිත්, ඉතා වහා ද පෙරළා යෙත්.
එක්තරා පිණ්ඩචාරික මහණෙක් ද නො සලකා ගෙයකට පිවිසියේ ය. හේ දොර යැ යි වරදවා සිතනුයේ, එක්තරා ඇතුළු ගෙයකට පිවිසියේ ය. ඒ ඇතුළුගෙහි ද ස්ත්‍රියක් නග්න වැ උඩුකුරු වැ වැද හොත්තී වේ. ඒ මහණ නග්න වැ උඩුකුරු වැ හොත් ඒ ස්ත්‍රිය දුටුයේ ම ය. දැක “මේ දොරකඩ නො වේ. මේ ඇතුළු ගෙයෙකැ” යි සිතා ඒ ඇතුළු ගෙයින් නික්මියේ ය. ඒ ස්ත්‍රියගේ සැමියා නග්න වැ උඩුකුරු වැ හෝනා ඒ ස්ත්‍රිය දැක ‘මේ මහණහු විසින් මා බිරිය දූෂිත වූවා’ යි සිතා ඒ මහණහු අල්ලාගෙන තැළී ය.
ඉක්බිති ඒ ස්ත්‍රී ඒ හඬින් පිබිද ‘ස්වාමීනි, ඔබ මේ වහන්දෑට කුමට තළත් දැ’ යි ඇසුවා ය.
‘මේ මහණ විසින් තෝ දූෂිත වීහි’ යි හේ කිව.
ඕ “ස්වාමීනි, මේ මහණ විසින් මම් දූෂිත නො වීමි, හෙතෙම වරදක් නො කෙළෙකැ” යි කියා ඒ මහණහු මුදවාලූ ය.
ඉක්බිති ඒ මහණ අරම් ගොස් භික්‍ෂූනට මෙ පවත් සැලකෙළේ ය. අල්පේච්ඡ සන්තුෂ්ට ලජ්ජී සුළු වරදෙහි ද කුකුස් කරන යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිණ්ඩචාරික භික්‍ෂූහු නො සකසා හැන්දාහු, නො සකසා පෙරෙවියාහු, භික්‍ෂූ ආකල්පයෙන් යුක්ත නො වූවාහු පිඬු පිණිස හැසිරෙන්නාහු ද, නො සලකා ගෙවලට පිවිසීමත් , ගෙයින් නික්මීමත් කරන්නාහු ද, ඉතා වහා පිවිසෙන්නාහු ද, ඉතා වහා ගෙන් නික්මෙන්නාහු ද, ඉතා ඈත්හිත් සිටින්නාහු ද, ඉතා ළඟත් සිටින්නාහු ද, ඉතා බොහෝ වේලාත් සිටින්නාහු ද, ඉතා වහාත් නික්ම යන්නාහු දැ” යි ලාමක කොට සිතත්, නින්‍දා කෙරෙත්, නො ගුණ පතුරුවත්.
එ කල ඒ වහන්දෑ මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළාහ.
“මහණෙනි, සැබෑ දැ” ... යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “භාග්‍යවතුන් වහන්ස, සත්‍ය යැ” යි. ඒ භික්‍ෂූහු කීහ.
භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා දැහැමි කථා කොට, භික්‍ෂූන් බණවා, “මහණෙනි, එසේ වී නම් පිණ්ඩචාරික භික්‍ෂූන් විසින් යම්සේ පැවතියයුතු ද එසේ පවතිනු පිණිස පිණ්ඩචාරික භික්‍ෂූනට වත් පනවන්නෙමි” යි (වදාරා පහත දැක්වෙන වත් පැනනැවූ සේක:)
2. “මහණෙනි, පිණ්ඩචාරික මහණහු විසින් ‘දැන් ගමට පිවිසෙන්නෙමි’ යි සලකා තෙමඬුලු වසා හැඳ කාබහන බැඳ, සගුණ කොට සඟළසිවුරු පෙරෙවැ ගැටය වටු වැ අවුණා, පාත්‍රය සෝදා අතින් ගෙන, මනා කොට, නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. සුපිළිසන් වැ ගමැ (ගෙවල් අතුරැ) යායුතු. සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ, ... එසැවූ සිවුරෙන් නො යුතු වැ ... මහසිනා නැති වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... අත් නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.
ගෙයකට පිවිසෙන මහණහු විසින් ‘මෙ මගින් පිවිසෙන්නෙමි, මෙ මඟින් නික්මෙන්නෙමි’ යි සැලකියැයුතු. ඉතා වහා නො පිවිසියැයුතු. ඉතා වහා නො නික්මියැයුතු. ඉතා දුරැ නො සිටියැයුතු. ඉතා ළඟැ නො සිටියැයුතු. ඉතා බොහෝ වේලා නො සිටියැයුතු. ඉතා වහා පෙරළා නො යායුතු. සිටියහු විසින් ‘භික්‍ෂාව දෙනු කැමැත්තාහු ද, නො දෙනු කැමැත්තාහු ද’ යන්න සැලකියැයුතු (විමැසුම් ඇති වැ සිටියැයුතු), ඉදින් ගෙහි ඉන්නා ස්ත්‍රී හෝ පුරුෂයා තමා කරමින් තුබූ කාර්‍ය්‍යය බහා තබයි ද (නවත්තයි ද), අස්නෙන් හෝ නැඟී සිටී ද, සැන්දක් හෝ අල්ලයි ද, බඳුනක් හෝ අල්ලයි ද, පසෙක තබයි ද, දෙනු කැමැත්තවුන් මෙනැ යි සලකා එතැනින් නො ගොස් සිටියැයුතු. භික්‍ෂාව දෙනු ලබන කල්හි වම් අතින් සඟළ සිවුර ඔසවා දකුණතින් පාත්‍රය යොමු කොට දෑතින් ම පාත්‍රය ගෙන භික්‍ෂාව පිළිගතයුතු. භික්‍ෂාව දෙන්නියගේ මුහුණ නො බැලියැයුතු.
‘සූපයක් දෙනු කැමැති ද නො කැමැති දැ’ යි යන්න සැලැකියයුතු. ඉදින් හැන්දක් හෝ අල්ලා ද, බඳුනක් හෝ අල්ලා ද, පසෙක හෝ තබා ද, ‘දෙනු කැමැත්තී වනැ’ යි එහි ම රැඳී සිටියැයුතු. භික්‍ෂාව දුන් කල්හි සඟළ සිවුරින් පාත්‍රය වසා යුහුසුලු නො වී මනා ව පෙරළා යායුතු.
3. සුපිළිසන් වැ ඇතුළු ගමැ (ගෙවල් අතරැ) යායුතු සුසංවෘත වැ ... යටට හෙළූ ඇස් ඇති වැ ... සිවුර ඔසොවා නො ගෙන ... සිනා සීමෙන් තොර වැ ... නිහඬ වැ ... කය නො සොලොවමින් ... අත් නො සොලොවමින් ... හිස නො සොලොවමින් ... ඉහැ අත නො ගසා ගෙන ... හිස වසා නො පෙර වැ ... උත්කුටිකයෙන් තොර වැ ගමැ යායුතු.