භක්තාග්ර වත
9. එසමයෙහි සවැගි මහණහු මනා කොට නො හැන්දාහු, මනා කොට නො පෙරෙවියාහු, සුදුසු ආකල්ප (මනා ලෙස ඉරියවු පැවැත්වීම) නැත්තාහු, භෝජන ශාලාවට යෙත්. ස්ථවිර භික්ෂූන් පසුබා ඉදිරි ඉදිරිවැ ද යෙත්. ස්ථවිර භික්ෂූන් මැදට පිවිස මහාතෙරුනට ඇලී හිඳගනිත්. නවක භික්ෂූන් ඔවුන් හුන් අස්නෙන් නෙරපත්. සඟළ සිවුර යට කොට ද ඇතුළුගෙහි හිදිත්. අල්පේච්ඡ වූ ලජ්ජී වූ සුළු වරදෙහිත් කුකුස් කරන්නාවූ ශික්ෂාකාමී වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ‘කෙසේ නම් සැවැගි මහණහු නොමනා ව හැන්දාහු, නොමනා ව පෙරෙවියාහු, මනා ආකල්ප නැත්තාහු බොජුන් හලට යන්නාහු ද ස්ථවිර භික්ෂූන් පසුබා තුමූ ඉදිරි ඉදිරි ව යන්නාහු ද, ස්ථවිර භික්ෂූන් මැදට වැද මහතෙරුනට ඇලී හිඳින්නාහු ද, නවක භික්ෂූන් ඔවුන් හුන් අසුන් වලින් නෙරනාහු ද, ගමෙහි දී සඟළ සිවුර ද යට කොට හිඳින්නාහු දැ’ යි ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්.
එ කලැ ඒ භික්ෂූහු මෙ පවත් භාග්යවතුන් වහන්සේට සැල කළහ.
“මහණෙනි, සැවැගි මහණහු නො මනා කොට හැඳ ගත්තෝ වැ, නො මනා කොට පෙරෙව ගත්තෝ වැ මනා ආකල්ප නැත්තෝ වැ බොජුන් හලට යෙත් ල ... සඟළ සිවුර යට කොට ද ගමෙහි හිඳිත් ල ඒ සැබෑ ද?” යි අසාවදාළසේක.
‘ඒ සැබැවැ’ වහන්සැ යි මහණහු කීහ.
භාග්යවතුන් ව්හන්සේ වෙසෙසින් ගැරැහූ සේක. වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්ෂූන් බණවා-
“මහණෙනි, එසේ වී නම්, යම් සේ භික්ෂූන් විසින් භක්තාග්රයෙහි පැවැතියැ යුතු ද එසේ වූ භක්තාග්ර වත භික්ෂූනට පනවන්නෙමි” යි වදාළසේක. (මෙසේ වදාරා මතු දැක්වෙන වත පැනවූසේක):
10. “ඉදින් ආරාමයෙහි කාලය දන්වන ලද්දේ වී නම්, තෙමඬුලු වසන්නහු විසින් පිරිමඬුලු කොට හැඳ, කාබාන බැඳ සගුණ කොට සඟළසිවුර පෙරවැ ගැට වටු ගන්වා (ගණ්ඨිය අවුණා) පාත්රය දෙව අතින් ගෙන මනා කොට නො යුහුසුලු වැ ගමට පිවිසියැයුතු. ස්ථවිර භික්ෂූන් පසුබා ඉදිරි ඉදිරි වැ නො යා යුතු. සුපිළියන් වැ ගමැ යායුතු. සුසංවෘත වැ ගමැ යායුතු. බිමට හෙළු ඇසැති වැ ... ඔසොවාගත් සිවුරු ඇති වැ නො යායුතු ... මහත් කොට සිනාසිසී නො යායුතු. නිහඬ වැ යායුතු. කය සොලොවමින් නො යායුතු. අත් වන වනා නො යායුතු. හිස සොලොවමින් නො යායුතු. ඉඟැ ඇත් ගසා ගෙන ... හිස වසා පෙරෙවැ නො යායුතු. උත්කුටුක වැ ගමෙහි නො යායුතු.
ගමැ සුපිළිසන් වැ හින්දැයුතු. මනා සංවර ඇති වැ ... යටට හෙලූ ඇස් ඇති වැ හින්දැයුතු. ඔසවාගත් සිවුරු ඇති වැ ... මහත් කොට සිනා සිසී නො හින්දැයුතු. නිහඬ වැ හින්දැ යුතු. කය සොලොවමින් ... අත් සොලවමින් ... හිස සොලොවමින් ... ඉඟැ අත් ගසාගෙන ... ඉස වසා පෙරෙවැ .... පල්ලත්ථිකාවෙන් ... ස්ථවිර භික්ෂූනට ඇලී නො ඉන්දැයුතු. නවක මහණහු අස්නෙන් නො ම නෙරැපියැයුතු. ගමැ සඟළ සිවුර යට කොට නො හින්දැයුතු.
11. පැන් දෙන කල්හි දෑතින් පාත්රය පිළිගෙන එයින් පැන් පිළිගතයුතු. පහත් කොට මනාව කිසිවෙක නො ගහවා පාත්රය දෙවියැයුතු. ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) වේ නම්, ‘දිය පිළිගන්නා බඳුන දිය ඉහිරී නො තෙමේවා’ යි ද, ‘ළඟ ඉන්නා භික්ෂූහු දියෙන් නොතෙමෙත් වා’ යි ද, ‘සඟළ සිවුරු දියෙන් නො ව තෙමේවා’ යි ද සලකා පහත් කොට දිය පිළිගන්නා බඳුනෙහි දිය වත්කළයුතු.
ඉදින් දිය පිළිගන්නා බඳුනෙක් (පඩික්කමෙක්) නො වී නම්, ‘ළඟ ඉන්නා මහණහු දියෙන් නො තෙමෙත්වා’ යි, ‘සඟළ සිවුරු දියෙන් නො තෙමේවා’ යි සලකා පහත් කොට බිමැ දිය වත්කළයුතු.
බත් දෙනු ලබන කල්හි දෑතින් පාත්රය ගෙන එයින් බත් පිළිගතයුතු. සූපයට ඉඩ තැබියැයුතු. ගිතෙල් හෝ තලතෙල් හෝ අවුළුපත් හෝ වේ නම්, ‘සියලු දෙනාට ම සම ලෙස සපයන්නැ’ යි තෙරහු විසින් කියැයුතු.
පිණ්ඩපාතය සකසා (සැලැකිලිමත් වැ) පිළිගතයුතු. පාත්රගත සංඥාව ඇති ව පිණ්ඩපාතය පිළිගතයුතු. පිණ්ඩපාතය එයට සම වූ (බතින් සතරින් කොටස් පමණ වූ) සූපය ඇත්තේ පිළිගත යුතු. පිණ්ඩපාතය (පාත්රයේ) මුවවිට යටැ ඉර තෙක් පමණක් පුරවන ලද බත ඇත්තේ පිළිගතයුතු. යම් තාක් සියලු ම භික්ෂූනට බත් නො ලැබුණේ වේ ද ඒ තාක් තෙරහු විසින් නො වැළඳියයුතු.