ගමික වත්
6. එ සමයෙහි ගමික (ගමන් යන) භික්ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්ෂිත කොට නො තබා දොරවල් ද වාකවුළු ද හැර දමා සෙනස්න කිසිවකුටත් නො පවරා නික්මයෙත්. ලී බඩු ද මැටිමුවා බඩු ද නැසෙයි. සෙනස්න නො රැකුණේ ද වෙයි. අල්පෙච්ඡ වූ ලජ්ජි වූ ශික්ෂාකාමී වූ කුකුස් කරන්නා වූ යම් භික්ෂූ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් ගමික භික්ෂූහු ලීබඩු මැටිමුවා බඩු සුරක්ෂිත කොට අහුරා නො තබා දොරවල් ද වාකවුළු ද විවර කොට සෙනස්න රැක ගන්නට කිසිවකුටත් නො පවරා නික්ම යන්නාහු ද, ලීබඩු මැටිබඩු නස්නේ ද, සෙනස්න නොරැකුණේ වේ දැ” යි ලාමක කොට කියත්, නින්දා කෙරෙත්, දොස් පතුරුවත්.
ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්යවතුන් වහන්සේට සැලකළාහ.
“මහණෙනි, සැබෑ ද? ” ... යි භාග්යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“භාග්යවතුන් වහන්ස, සැබැවැ” යි භික්ෂූහු කීහ.
භාග්යවතුන් වහන්සේ වෙසෙසින් ගරහා, දැහැමි කථා කොට, භික්ෂූන් බණවා,
“මහණෙනි, එසේ වී නම්, යම්සේ ගමික භික්ෂූන් විසින් පැවැතියයුතු ද, එසේ ගමික භික්ෂූනට වත් පනවන්නෙමි” යි වදාරා ගමික වත පැනැවූයේක.
7. “මහණෙනි, ගමික මහණහු විසින් ලීබඩු ද මැටිමුවා බඩු ද සුරැකි කොට තැබියයුතු. දොරවල් වාකවුළු වසා සෙනස්න රැක ගන්නට කෙනකුට දන්වා නික්මියැ යුතු. භික්ෂූනමක් (එහි) නො වී නම්, හෙරණ තෙම දැන්විය යුතු (හෙරණහට ඒවා රැක ගන්නට පැවැරියයුතු), හෙරණෙක් නො සිටී නම්, ආරාමික තෙම (ආරාමිකයාට) දැන්වියයුතු. ආරාමිකයෙක් නො වී නම්, උපාසකයකුට දැන්වියැයුතු. මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ නො වී නම්, ගල් සතරක් උඩ ඇඳ පනවා, ඇඳ මත තව ඇඳක් නංවා, පුටුවක් මත පුටුවක් නංවා, සෙනස්න මතුයෙහි ගොඩ ගසා ලීබඩු මැටිබඩු එහි සුරැකි කොට අහුරා තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.
විහාරය තෙමේ නම්, හැකි නම් (උළු ආදියකින්) වැසිය යුතු. ‘කෙසේ නම් විහාරය සෙවිලි කරනු ලබන්නේ දැ’ යි උත්සාහ හෝ කළයුතු. මෙසේත් මෙය ලබන්නේ නම්, (මෙය සිදු වන්නේ නම්) මෙසේ මෙය මැනැව. ඉඳින් නො ලබන්නේ නම් යම් පැත්තෙක් නො තෙමෙන්නේ වේ නම්, එහි ගල් සතරක් මත ඇඳක් පනවා, ඒ ඇඳ මත තව ඇඳක් නංවා පුටුවක් උඩ පුටුවක් නංවා, සෙනස්න මත ලී බඩුත් මැටි බඩුත් ගොඩ ගසා සුරැකි කොට තබා දොරවල් වාකවුළු වසා තබා නික්මියැ යුතු.
ඉදින් සියලු විහාරය තෙමේ නම්, හැක්කේ නම්, සෙනස්න ගමට ගෙන යායුතු. කෙසේ නම් සෙනස්න ගමට ගෙනයනු ලබන්නේ දැ යි උත්සුක බව හෝ කළයුතු යි. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනැව. ඉදින් නො ලබන්නේ නම්, එළිමහනෙහි ගල් යතරක් උඩ ඇඳක් පනවා ඒ ඇඳෙහි ඇඳක් නංවා පුටුවෙක පුටුවක් නංවා සෙනස්න මත ලීබඩුත් මැටිබඩුත් එක්රැසක් කොට (එකට ගොඩගසා) සුරැකි කොට ‘යටත් පිරිසෙයින් ලීබඩුවල අවයවවත් ඉතිරි වන්නේ නම් මැනැවැ’ යි තෘණයෙන් හෝ කොළවලින් හෝ වසා තබා නික්මැ යායුතු.
“මහණෙනි, යම්සේ ගමිකයන් විසින් පැවැතියැ යුතු ද මේ ඒ ගමික භික්ෂූන් පිළිබඳ වත යි”.
8. එසමයෙහි මහණහු බොජුන් ගන්නා තන්හි දී (බොජුන් හලේ දී) අනුමෝදනා නො කෙරෙත්, “කෙසේ නම් ශාක්යපුත්රීය ශ්රමණයෝ බොජුන්හලෙහි දී අනුමෝදනා නො කරන්නාහු දැ” යි මිනිස්සු ලාමක කොට සිතත්, නින්දා කෙරෙත්, නුගුණ කථා පතුරුවත්. භික්ෂූහු ලාමක කොට සිතන, නින්දා කරන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහ. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ.
එකල්හි භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා කොට භික්ෂූන් අමතා,
“මහණෙනි, බොජුන්හලෙහි දී අනුමෝදනා බණ කියන්නට අනුදනිමි” යි වදාළසේක.
එකල්හි ඒ මහණුනට “කවර නම් කෙනකුන් විසින් බොජුන් හලෙහි දී අනුමෝදනා බණ කියැයුතු දැ?” යී මේ සිත විය. භාග්යවතුන් වහන්සේට මෙපවත් සැලකළාහ. එවිට භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට, භික්ෂූන් බණවා,
“මහණෙනි, ස්ථවිර මහණක්හු විසින් භක්තාග්රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි” යි වදාළසේක.
එසමයෙහි වනාහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවෝ (එයට වැඩිය සඟ පිරිසේ) සඞ්ඝස්ථවිර වෙති. ‘ස්ථවිර මහණහු විසින් භක්තාග්රයෙහි අනුමෝදනා කරන්නට අනුදනිමි’ යි භාග්යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ”යි කියා, භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන් හුදෙකලා කොට හැර නික්මැගියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ ඒ මිනිසුනට භුත්තානුමෝදනාව කොට, පසුව හුදෙකලාව ම වැඩියාහ. භාග්යවතුන් වහන්සේ දුරින් ම වඩනා ආයුෂ්මත් ශාරිපුත්ර තෙරණුවන් දුටුසේක. දැක ඔබ බණවා, “කිමෙක් ද ශාරීපුත්රයෙනි, බත සමෘද්ධ වී ද” යි අසාවදාළසේක. “වහන්ස, බත සමෘද්ධ විය. එහෙත් භික්ෂූහු මා හුදෙකලා කොට හැරදමා ගියාහු” යැ යි සැලකළහ.