7. තෘණාවස්තාරකය
19. එ සමයෙහි වනාහි උපන් ඩබර ඇති, උපන් කලහ ඇති, විවාදාපන්න ව වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක කම් කරණ ලද්දේ වෙයි. එ කල වනාහි ඒ මහණුනට මේ සිත විය; “උපන් ඩබර ඇති ව උපන් කලහ ඇති ව විවාදාපන්න ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක දෑ කරණ, ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, භේදය පිණිස පවතින්නේ ය. මෙහි අප විසින් කෙසේ පිළිපැදිය යුතු වන්නේ ද?” යනුවෙනි.
20. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “මහණෙනි, මෙහි උපන් ඩබර ඇති ව, උපන් කළහ. ඇති ව විවාදාපන්නව වසනා මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ අශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වේ ද, ඉදින් එහි මහණුනට උපන් ඩබර ඇති ව උපන් කලහ ඇති ව විවාදාපන්නව වසන අප විසින් වාචසික වූත් කායික වූත් බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම් ඒ අධිකරණය කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස පවත්නේ ය යන්න වීය හැක්කැ’යි මෙසේ සිතෙක් වන්නේ නම්, මහණෙනි, මෙබඳු අධිකරණය තෘණවස්ත්‍රාරකයෙන් (තණකොළින් කසළ වසාලන්නාක් මෙන් කිරීමෙන්) සන්සිඳුවන්නට අනුදනිමි”යි යනු යි.
මහණෙනි, මෙසේ එය සංසිඳුවිය යුතු: “සියලු දෙනා ම එක් තැනෙක රැස් විය යුතු, රැස් වැ ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා. උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම්, ඒ අධිකරණය ඇතැම් විට කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස පැවැතිය හැක්ක. ඉදින් සංඝයාට ප්‍රාප්ත කාලය ඇත්තේ වේ නම් සංඝ තෙමේ දළ වරද හැර, ගිහියනට ගැරැහුම් ආදියෙන් යුත් වරද හැර, ඉතිරි මේ සියලු අධිකරණය තෘණවස්ත්‍රාරකයෙන් සංසිඳුවන්නේ යැ’යි මෙසේ සංඝ තෙමේ දැන්විය යුතු.
21. එක් පක්‍ෂයෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ‘ආයුෂ්මත්හු මගේ වචනය අසත් වා. උපන් ඩබර ඇති ... අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක කියා කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට චෝදනා කරන්න මෝ නම් ඒ අධිකරණය කර්‍කශ බව පිණිස, චණ්ඩ බව පිණිස, භේදය පිණිස, පවතිනු ඇත. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ වී නම්, මම්, ආයුෂ්මතුන් ගේ යම් ඇවැතෙක් වේ ද, තමා ගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ආයුෂ්මතුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද, දළවරද හැරපියා, ගිහියනට නිගා කිරීම් ආදි විසින් වූ (ගෘහීප්‍රතිසංයුක්ත) වරද ද හැර පියා, සඟ මැදදී තෘණවස්ත්‍රාරකයෙන් දෙසන්නෙමි’ යි ස්වකීය පක්‍ෂය ඥාපයිතව්‍ය ය (සිය පසට දැන්විය යුතු).
එ කල්හි එක් පක්‍ෂයෙක වූ අනිත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,
ආයුෂ්මත්හු මගේ වචනය අසත් වා. උපන් ඩබර ඇති ...... අප විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත් වලින් ඔවුනොවුනට චෝදනා කරන්නමෝ නම් ..... භේදය පිණිස පවතිනු ඇත. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් ඇත්තේ වී නම්, මම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, ඒ හැම ආයුෂ්මතුනට වැඩ පිණිස ද තමහට වැඩ පිණිස ද, දළ වරද හැර පියා ගිහියනට ගැරැහුම් ආදි විසින් වූ (ගෘහීප්‍රතිසංයුක්ත) වරද ද හැර පියා, සඟ මැදදී තෘණවස්තාරකයෙන් දෙසන්නෙමි යි සිය පසට දැන්වීය යුතු.
22. එක් පසෙක වූ මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් ඩබර ඇති ... අප විසින් ... බොහෝ ආශ්‍රාමණක ක්‍රියා කරණ ලද්දේ වෙයි ... භේදය පිණිස පැවැතිය හැක්ක. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ වී නම්, මම්, මෙ ආයුෂ්මතුන්ගේ යම් ඇවැතෙක් වේ ද, තමාගේ යම් ඇවැතෙක් වේ ද, මේ ආයුෂ්මතුන් හට වැඩ පිණිස ද, තමහට වැඩ පිණිස ද, සහ මැද දී ස්ථුල වරදත් ගිහියනට ගැරැහුම් ඈ විසින් කළ වරදත් හැර ඒ ඉතිරි සියලු වරද තෘණවස්තාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යි.