6. තස්සපාපිය්‍යසිකාව
13. එ සමයෙහි වනාහි උවාළ නම් මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි. ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන බොරු කියයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද, ඔහු ... උවාළ මහණ තෙම කෙසේ නම් සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ කෙසේ නම් අවඥා කොට ප්‍රතිඥා කරන්නේ ද, ප්‍රතිඥා කොට අවඥා කරන්නේ ද, එකෙකින් අනෙකක් වසාලන්නේ ද, දැන දැන බොරු කියන්නේ දැ” යි පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.
14. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ‘මහණෙනි, ... සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබැව වහන්සැ’ යි මහණහු පිළිවදන් දුන්හ. ... භාග්‍යවතුන් වහන්සේ ... ගරහා දැහැමි කථා කොට මහණුන් බණවා, ‘මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය (පාපෝත්සන්න පුද්ගලයාට කළ යුතු විනයකර්‍මය) කෙරේ වා. මහණෙනි, මෙසේ එය කළ යුතු: පළමු කොට, උවාළ තෙම චෝදයිතව්‍ය ය. චෝදනා කොට ඇවැත සිහි කැරැවිය යුතු, සිහි කරවා ඇවැත නැංවිය යුතු. ඇවැත නංවා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා. මේ උවාළ මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබන්නේ, අවමන් කොට පිළින කෙරෙයි, පිළින කොට අවමන් කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන දැන බොරු කියයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ (සුදුසු කල් ඇත්තේ) වී නම්, සංඝ තෙමේ උවාළ මහණ හට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ උවාළ මහණ තෙම ... දැන දැන බොරු කියයි. සංඝ තෙමේ උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි. උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කිරීම යම් මහණකුහට රිසියෙයි ද හේ නිහඬ වේවා. යම් මහණකුට නොරිසියෙයි ද හේ කියාවා. දෙවැනි වර ද මෙ කරුණ කියමි. ... තෙවෙනි වර ද මෙ කරුණ කියමි......
සංඝයා, විසින් උවාළ මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදී. එය සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි (සලකමි)” යනුවෙනි.
මහණෙනි, දැහැමි වූ මේ තස්සපාපිය්‍යසිකාකර්‍ම කිරීම් පසෙකි. මහණ තෙම අපිරිසිදු වූ කාය වාක් කර්‍ම ඇත්තේ වේ ද, අලජ්ජි වේ ද (දැන දැන ඇවැත් අවදනා සුලුවේ ද), උපවාද සහිත වේ ද, ඔහුට සංඝ තෙමේ තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි ද, එ ද සමග වූ සංඝ තෙමේ ධර්‍මය වූ පරිදි කෙරෙයි ද - මහණෙනි, මේ දැහැමි වූ තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම් පස ය.