5. යේභුය්‍යසිකාව
10. එ සමයෙහි වනාහි භික්‍ෂුහු සංඝයා මැදදී උපන් කලහ ඇත්තාහු, හටගත් ඩබර ඇත්තාහු, විවාදාපන්න වූවාහු ඔවු නොවුන් මුඛ නැමැති අඩයැටිවලින් විදුනෝ වැ වෙසෙත්. ඒ අධිකරණය සන්හිඳුවන්නට (භික්‍ෂූහු) සමත් නො වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ. “මහණෙනි, මෙබඳු අධිකරණය යේභුය්‍යසිකායේන් (ධර්‍මවාදීන් වැඩිතරම් දෙනකුගේ මඟින් කරන ශමථයෙන්) සන්හිඳුවන්නට අනුදනිමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
(තව ද එය කරන සැටි මෙසේ ද වදාළ සේක.)
11. “මහණෙනි, යම් මහණෙක් ඡන්‍දයෙන් අගතියට නො යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො යන්නේ ද, මෝහයෙන් අගතියට නො යන්නේද, බියෙන් අගතියට නො යන්නේ ද, ගත් නොගත් සලාකා දන්නේ ද මෙ කී අංග පසින් යුත් මහණ තෙම සලාකා ගන්වන්නෙක් කොට සම්මත කටයුතු. මහණෙනි, මෙසේ වනාහි සම්මත කටයුතු. පළමු කොට මහණෙක් යැදියැ යුතු: යැද, ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
‘වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් (මෙයට සුදුසු කාලය යැ යි හැඟේ නම්) සංඝ තෙමේ මෙ නම් මහණහු සලාකගන්වන්නකු කොට සම්මත කරන්නේ ය. මේ ඥප්තිය (දැනුම් දීම) යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. සංඝ තෙමේ මෙ නම් මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කෙරෙයි. මෙ මහණහු සලාකා ගන්වන්නකු කොට සම්මත කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යම් ආයුෂ්මතක්හට නො රිසියෙන්නේ නම්, හේ කියා වා. සඞ්ඝයා විසින් මෙ නම් මහණ තෙම සලාකා ගන්වන්වන්නෙක් කොට සම්මත විය. සඞ්ඝයාට එය රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි (සලකමි”) යනුවෙනි.
12. “මහණෙනි, මේ නො දැහැමි සලාකා ගැන්වීම් දසයෙක, දැහැමි සලාකා ගැන්වීම් දසයෙක.
නොදැහැමි සලාකා ගැන්වීම් දසය කවර යැ: අධිකරණය අල්පමාත්‍ර එකෙක් වෙයි, ආවාස දෙක තුනකට නො ගියේ වෙයි (නොහොත් දෙතුන් වරක් විනිශ්චය නො කරන ලද්දේ වෙයි). දෙතුන් වරක් ඒ මහණුන් විසින් සිහි නො කරන ලද්දේ ද අනුන් ලවා සිහි නොකරවන ලද්දේ ද වෙයි. අධර්‍මවාදීහු වැඩිතරම් යැ යි දනී. අධර්‍මවාදීහු වැඩිතරම් වන්නාහු නම් ඉතා යෙහෙකැ යි සිතා සලාකා ගන්වයි. සඞ්ඝයා බිඳෙතැ යි දනී. සංඝයා බිඳෙතොත් ඉතා යෙහෙකැ යි සිතා සලාකා ගන්වයි. නො දැහැමින් (අධර්‍මවාදී අපි වඩා බලවත් වන්නමු. යි සිතා සලාකා දෙක දෙක බැගින්) ගනිත්. ව්‍යග්‍ර වැ (ධර්‍මවාදී) සලාකා අඩු වනු පිණිස ධර්‍මවාදී දෙදෙනෙක් එක් සලාකාව බැගින් ගනිත්. තමන් ගේ දෘෂ්ටිය වූ පරිදි සලාකා නො ගනිත්. මේ නොදැහැමි සලාකා ගැනුම් දසය යැ.
දැහැමි සලාකා ගැනුම් දසය කවර යැ: අධිකරණය අල්පමාත්‍ර නො වෙයි, ආවාසයනට ගියේ වෙයි (නොහොත් දෙතුන් වරක් විනිශ්චය කරන ලද්දේ වෙයි, ඒ මහණුන් විසින් දෙතුන් වරක් සිහි කරන ලද්දේ ද අනුන් ලවා සිහි කරවන ලද්දේ ද වෙයි. ධර්‍මවාදීන් ඉතා වැඩිතරම් ගණනෙක් වෙති යි දනී, සංඝයා නො බිඳෙන්නේ යැ යි, සංඝයා නො බිඳෙන්නේ නම් ඉතා යෙහහෙකැ යි දනී. දැහැමින් සලාකා ගනිත්, (දෙදෙනෙක් එක සලාකාවක් නො ගෙන) සමග වැ සලාකා ගනිත්, (පක්‍ෂය තර කැරැ ගැන්ම පිණිස නො වැ) තමන් ගේ දෘෂ්ටිය පරිදි සලාකා ගනිත්. මේ දැහැමි සලාකා ගැනුම් දසය යැ’ යි ද වදාළ සේක.
6. තස්සපාපිය්‍යසිකාව
13. එ සමයෙහි වනාහි උවාළ නම් මහණ තෙම සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි. ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි. එකෙකින් අනෙකෙක් වසාලයි, දැන බොරු කියයි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද, ඔහු ... උවාළ මහණ තෙම කෙසේ නම් සඟ මැදදී ඇවැතින් පිරික්සනු ලබනුයේ කෙසේ නම් අවඥා කොට ප්‍රතිඥා කරන්නේ ද, ප්‍රතිඥා කොට අවඥා කරන්නේ ද, එකෙකින් අනෙකක් වසාලන්නේ ද, දැන දැන බොරු කියන්නේ දැ” යි පහත් කොට සිතත්, දොස් කියත්, අගුණ පතුරුවත්.