4. ප්‍රතිඥාතකරණය
7. එ සමයෙහි වනාහි ෂඩ්වර්ගික භික්‍ෂුහු අප්‍රතිඥායෙන් (වරද කළම්හ යි චුදිතයන්ගේ ප්‍රතිඥාවක් නැති ව) මහණුනට තජ්ජනීය කර්‍මය ද නියස්සකර්‍මය ද පබ්බාජනියකර්‍මය ද පටිසාරණීයකර්‍මය ද උක්ඛේපනීය කර්‍මය ද කරත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ ද ... ඔහු කෙසේ නම් සවැගි මහණහු ප්‍රතිඥා රහිත ව මහණුනට තජ්ජනීයකර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනියකර්‍මයත් පටිසාරණීයකර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ’යි අවමන් කෙරෙත් දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළහ ... මහණෙනි, ඒ සැබෑ ද? ... අසා වදාළ සේක.
‘සැබැව, භාග්‍යවතුන්වහන්සැ’ යි මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ... ගරහා දැහැමි කතා කොට, “මහණෙනි, ප්‍රතිඥා නැති වැ මහණුනට තජ්ජනීයකර්‍මය හෝ නියස්සකර්‍මය හෝ පබ්බාජනිය කර්‍මය හෝ පටිසාරණීයකර්‍මය හෝ උක්ඛේපනීයකර්‍මය හෝ නො කළ යුතු. යමෙක් එය කරන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
8. මහණෙනි, පටිඤ්ඤාතකරණය මෙසේ (මතු දැක්වෙන පරිදි) නො දැහැමි වේ, මෙසේ දැහැමි වේ. මහණෙනි, පටිඤ්ඤාතකරණය කෙසේ නො දැහැමි වේ ද යත්: මහණෙක් පරිජි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් මහණෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ’ යැ යි චෝදනා කෙරෙයි. එවිට හෙතෙම ‘ඇවැත්නි, මම් පරිජි ඇවැතට නොපැමිණියෙමි. සඟවෙසෙස් ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට සඟවෙසෙස් ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ නො දැහැමි ප්‍රතිඥාතකරණ යි.
මහණෙක් පරිජි ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් මහණෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ’ යැ යි චෝදනා කෙරෙයි. හෙතෙම ‘ඇවැත්නි, මම් පරිජි ඇවැතට නො පැමිණියෙමි. මම් තුලැසි ඇවැතට පැමිණියෙමි. පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට ... දුබැසි ඇවැතට පැමිණියෙමි යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට දුබැසි ඇවැතින් විනයකර්‍ම කරවයි. මේ ද නොදැහැමි ප්‍රතිඥාතකරණ යි.
මහණෙක් දුබැසි ඇවැතකට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ දුබැසි ඇවැතට පැමිණියේ වේ යැ’ යි චෝදනා කෙරෙයි. ඒ මහණ තෙම ‘ඇවැත්නි මම් දුබැසි ඇවැතට නො පැමිණියෙමි. සඟවෙසෙස් ඇවැතට පැමිණියෙමි’ යි ... ‘තුලැසි ඇවැතට පැමිණියෙමි’ යි ... ‘පචිති ඇවැතට ... පාටිදේසනීය ඇවැතට ... දුකුළා ඇවැතට පැමිණියෙමි’ යි මෙසේ හේ කියයි. සංඝ තෙමේ ඔහුට දුකුළා ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඥාතකරණය නො දැහැමි වේ. මහණෙනි, මෙසේ ම ප්‍රතිඥාතකරණය නොදැහැමි වේ.
9. මහණෙනි, ප්‍රතිඥාතකරණය කෙසේ නම් දැහැමි වේ ද? යත්: මහණෙක් පරිජි ඇවැතට පැමිණියේ වෙයි. ඔහුට සංඝයා හෝ බොහෝ මහණහු හෝ එක් පුඟුලෙක් හෝ ‘ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතට පැමිණියේ වේ යැ’ යි චෝදනා කෙරෙයි. හෙ තෙම ‘එසේ ය, ඇවැත්නි, පරිජි ඇවැතට පැමිණියෙමි යි මෙසේ කියයි. සංඝ තෙමේ ඔහුට පරිජි ඇවැතින් විනයකර්‍මය කරවයි. මේ ප්‍රතිඤ්ඤාතකරණය දැහැමි වේ.