2. සතිවිනය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනවාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි උපතින් සත්වස් ඇති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර විසින් රහත්බව පසක් කරණ ලද්දේ වෙයි. සව්වකු විසින් පැමිණිය යුතු (ලැබිය යුතු) යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල උහු විසින් ලබන ලද්දේ වෙයි. උහුට මත්තෙහි කටයුතු කිසිවක් ද නැත. කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. ඉක්බිති එකලා ව විවේකයෙන් හුන් ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “උපතින් සත් වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදී. සව්වකු විසින් ලැබිය යුතු යම් කිසිවක් වේ නම් මවිසින් ඒ සියල්ල ලබන ලදි. මට මතු කටයුතු කිසිවක් ද, කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟහට වතාවතක් කරනෙම් නම් කිම්දෝයි ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්හට මෙබඳු සිතෙක් විය: මම සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මනාමැනු” යි.
2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සවස්කල පිළිසලනින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් මල්ලපුත් ආයුෂ්මත් දබ්බ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු සිත්හසරෙක් පහළ විය: උපතින් සත්වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදි. සව්වකු විසින් යම් කිසිවක් ලැබිය යුතු නම් ඒ සියල්ල මවිසින් ලබන ලදි. මතු කිසි කටයුත්තෙක් ද මට නැත කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟනට වතාවතක් කරම් නම් කිම්දැ” යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් විය: “මම සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැනු”යි. “වහන්ස, මම සඟනට සෙනසුන් පනවන්නට ද බත් උදෙසන්නට ද කැමැත්තෙමි”යි. “දබ්බ මැනැවි. මැනැවි. දබ්බ එසේ නම් සඟනට සෙනසුන් ද පනවවු, බතුදු උදෙසවු” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දිනි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමිකතා කොට භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු පළමු කොට දබ්බ යැද්ද යුතු. යැද වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන් අසාවා: ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරන්නෙන් ය. මේ දැන්වීම යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වදන අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරෙයි. ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කිරීම යම් ආයුෂ්මතකුහට රුස්නේ නම් හෙ තෙමේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හෙ තෙමේ බණන්නේ ය.
සඟ විසින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරණ ලදි. සඟහට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
4. සම්මත කරණ ලද ආයුෂ්මත් දබ්බ මල්ලපුත් තෙමේ සභාග සභාග භික්‍ෂුන්ට එක්තැනෙක සෙනසුන් පනවයි: යම් භික්‍ෂූහු සූත්‍රාන්තිකයෝ නම් ‘ඔහු ඔවුනොවුන් සූත්‍රාන්ත සඞ්ගායනා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු විනයධරයෝ නම් ‘ඔහු ඔවුනොවුන් විනය විසඳන්නාහු ය’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු ධම්කථිකයෝ (ආභිධම්මිකයෝ) නම් ‘ඔහු ඔවුනොවුන් ධර්‍මය සාකච්ඡා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු ධාන්‍යලාභිහු නම් ‘ඔහු ඔවුනොවුන් නො පෙළන්නාහ’ යි ඔවුනට එක්තැනෙක හෝ සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු තිරශ්චීන කථා ඇති ව කය තරකිරීමෙහි තත්පර ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරශ්චීන කථා රතියෙනුදු වෙසෙන්නාහ’ යි ඔවුනට ද එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්‍ෂූහු නො කල්හි පැමිණෙත් නම් ඔවුනට ද තේජෝධාතුවට සමවැද ඒ ආලෝකයෙන් ම සෙනසුන් පනවයි.
5. භික්‍ෂූහු දැන දැන ‘අපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුගේ ඉදුපෙළහර දක්නමෝ’ යි නොකල්හි නිතර පැමිණෙත්, ඔහු ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹ ඇවැත්නි, දබ්බයෙනි, අපට සෙනසුන් පනවාලව යි. මෙසේ කියත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට ‘ආයුෂ්මත්හු කොතැන්හි කැමැති වෙද්ද, මේ කොතැන්හි පනවම් දැ’යි මෙසේ කියයි. ඔහු දැන දැන දුර තැන් දක්වත්, “ඇවැත්නි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපවයින්පවුවෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපස කළුගල්තලායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපවුපස සත්පත්ගොහෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සීතවෙනෙහි නාකෙම්බෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම් කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරි කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝද කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට හුණුදිය අරමෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹවෙනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ජි නම් මුවලැව්හි සෙනසුන් පනවාලව”යි.