1. සම්මුඛාවිනය
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වසන සේක. එකල්හි සවග මහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය ද නියස්ස ද පබ්බාජනීය ද පටිසාරණීය ද උක්ඛේපනීය ද යන කර්‍ම කෙරෙත්. අපිස් වූ සතොස් වූ ලජ්ජි වූ කුකුස් ඇති යම් ඒ මහණහු වෙත් ද, ඔහු කෙසේ නම් සවගමහණහු නො හමු වූ භික්‍ෂූන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ? යි අවමන් කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්.
ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රකරණ (ප්‍රස්තාව)යෙහි භික්‍ෂූ සඞ්ඝයා රැස් කරවා භික්‍ෂූන් පිළිවිසි සේක:
මහණෙනි, සැබෑ ද? සවගමහණහු නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කෙරෙත් දැ යි. ‘භාග්‍යවතුන් වහන්ස, සැබව.’ භාග්‍යයවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නො නිසි ක්‍රියායෙකි. අනුලොම් නො වූවෙකි. පිළිරූ නො වූවෙකි. නො මහණකමෙකි. නො කැප වූවෙකි. නො කට යුත්තෙකි. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නො හමු වූ මහණුන්ට තජ්ජනීය කර්‍මයත් නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත් පටිසාරණීය කර්‍මයත් උක්ඛේපනීය කර්‍මයත් කළාහු ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වේ. ගරහා ... දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
“මහණෙනි, මෙය හමු වූ මහණුන්ට තජ්ජනීය හෝ නියස්ස හෝ පබ්බාජනීය හෝ පටිසාරණීය හෝ උක්ඛේපනීය හෝ කර්‍මය නො කළ යුතු. යමෙක් කෙරේ නම් ඔහුට දුකුළා වේ”යි.
අධර්‍මවාදීනවකය:
අධම්මවාදී පුග්ගල ය, අධම්මවාදී සම්බහුල ය, අධම්මවාදී සඞ්ඝ ය, ධම්මවාදී පුග්ගල ය, ධම්මවාදී සම්බහුල ය, ධම්මවාදී සඞ්ඝ ය (යි මාතිකා සයෙකි.)
1. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ ධර්‍මය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”සි ධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
2. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ ධර්‍ම ය, මේ විනය ය, මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු”යි ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි . පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
3. අධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදීසඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
4. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදී පුද්ගලයාට හඟවත්, සිතවත්. පුනපුනා දක්වත්. පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
5. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු, මෙය රුස්වවු” යි ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවත්, සිතවත්. දක්වත්. පුනපුනා දක්වත් පෙන්වත්. පුනපුනා පෙන්වත්. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛ්බාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳෙයි.
6. අධර්‍මවාදී බොහෝ මහණහු “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්‍මවාදී සඞ්ඝයාට හඟවත්. සිතවත්. දක්වත්, පුනපුනා දක්වත් පෙන්වත් පුනපුනා පෙන්වත් . ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
7. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි ධර්‍මවාදී පුඟුලාට හඟවයි සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
8. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණිවු. මෙය රුස්වවු”යි. ධර්‍මවාදී බොහෝ මහණුන්ට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් ඒ අධිකරණය මෙසේ සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ.
9. අධර්‍මවාදී සඞ්ඝ තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව” යි ධර්‍මවාදී සඞ්ඝයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. පෙන්වයි. පුනපුනා පෙන්වයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය පිළිරූ වූ නො දැහැමින් සන්හිඳේ යි.
අධර්‍මවාදීනවකය නිමි.
ධර්‍මවාදීනවකය
1. ධර්‍මවාදී පුද්ගල තෙමේ “මේ දහම ය. මේ විනය ය මේ ශාස්තෘශාසන ය, මෙය ගණුව, මෙය රුස්ව”යි අධර්‍මවාදී පුද්ගලයාට හඟවයි. සිතවයි. දක්වයි. පුනපුනා දක්වයි. බලවයි. පුනපුනා බලවයි. ඉදින් මෙසේ ඒ අධිකරණය සන්හිඳේ නම් සම්මුඛාවිනය වූ දැහැමින් සන්හිඳේ.