11. දෙවන මූලායපටිකස්සන විසුද්ධි නවකය
1. මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද නො පමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යදියි. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර ගණන් ඇති නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැත් පිණිස මුලට ඇදීම යදී. සඞ්ඝතෙමේ කෝප්‍ය වූ (=ගැරහිය යුතු) තැනට නො නිසි නො දැහැමිකමින් ඔහු අතර ඇවැත් පිණිස මුලට අදියි. නො දැහැමින් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි.
හෙතෙමේ ඒ බිම සිටියේ පළමු ඇවැත්නට අතර ඇවැත් සමරයි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරයි. ඔහුව මෙසේ සිත් වේ. “මම් වූ කලි ගණන් සහිත වූ ද ගණන් රහිත වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් ඒ ඇවැත්නට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් අතර ගණන් සහිත නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මුලට ඇදීම යැදීම්, සඞ්ඝ තෙමේ ඒ මා කෝප්‍ය වූ තැනට නො නිසි නො දහැමිකමින් ඒ ඇවැත් සඳහා මුලට ඇදී ය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් අතර පමණ වූ නො වැසුනු බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැත්නට අතර ඇවැත් සමරමි. පසු ඇවැත්නට අතර ඇවැත් ද සමරමි. අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මුලට ඇදීම ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.
හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදී, සඞ්ඝ තෙමේ අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් ඔහුට පළමු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් පසු ඇවැත්නට අතර ඇවැතුන්ගේත් මූලාය පටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භානය කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වෙයි.
2-3 මහණෙනි, මෙහි මහණෙක් පමණ වූ ද අපමණ වූ ද ... නො මුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යදී. සඞ්ඝ තෙමේ ඒ ඇවැතුන්ට සමෝදහන්පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙනුයේ අතර පමණ වූ පිළිසන් වූ ... පමණ වූ පිළිසන් වූත් පිළිසන් නො වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. හෙතෙමේ සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යදී. සඞ්ඝ තෙමේ ඔහුට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමි කමෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය කෙරේ. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දෙයි. හෙතෙමේ පිරිවෙසෙමි යි හඟනේ ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී.
හෙතෙමේ එබිම සිටියේ පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකෙරෙයි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකෙරෙයි. ඔහුට මෙසේ සිත් වේ. “මම පමණ වූ ද අපමණ වූ ද ... නුමුසු වූ ද මුසු වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම සඞ්ඝයයාගෙන් ඒ ඇවැතුන්ට සමෝදහන් පිරිවෙස යැදීමි. ඒ මට සඞ්ඝතෙමේ ඒ ඇවැත් සඳහා සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙනුයෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම් සඞ්ඝයාගෙන් අතර ඇවැතුන්ගේ මූලායපටිකස්සනය යැදීමි. සඞ්ඝතෙමේ ඒ මට කෝප්‍ය වූ තැනට නො නිසි නො දැහැමිකමින් මූලාපටිකස්සනය කෙළේය. නො දැහැමින් සමෝදහන් පිරිවෙස දිනි. ඒ මම පිරිවෙසෙමි යි හඟනෙම් ඒ අතර පමණ වූ වැසුනා වූත් නො වැසුනා වූත් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. ඒ මම එබිම සිටියෙම් පළමු ඇවැතුන්ට අතර ඇවැත් සිහිකරමි. පසු ඇවැතුන්ට අතර ඇවැත් ද සිහිකරමි. මම සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන්පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදනෙම් නම් මැනවැ” යි.
හෙතෙමේ සඞ්ඝයාගෙන් අකෝප්‍ය වූ තැනට නිසි දැහැමිකමින් පළමු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන්ගේත් මූලායපටිකස්සනය ද, දැහැමින් සමෝදහන් පිරිවෙස ද, දැහැමින් මානත ද, දැහැමින් අබ්භානය ද යදියි. සඞ්ඝතෙමේ අකෝප්‍ය වූ තැනට සුදුසු දැහැමිකමින් ඔහුට පළමු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් පසු ඇවැතුන්ට අතර ඇවැතුන් පිණිසත් මූලායපටිකස්සනය කෙරේ. දැහැමින් සමෝදහන්පිරිවෙස දෙයි. දැහැමින් මානත දෙයි. දැහැමින් අබ්භාන කෙරෙයි. මහණෙනි, ඒ මහණ තෙමේ ඒ ඇවැතුන්ගෙන් විශුද්ධ වූයේ වේ.