5. අබ්භානාහර වත
1. එ සමයෙහි වනාහි අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම හුනස්නෙන් නැගී සිටීම ඇඳිලිබැඳීම, සාමීචිකර්‍ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, නෑමෙහි පිටුපිරියම ඉවසත්. යම් මහණ කෙනෙක් අපිස් ගුණැත්තෝ ද ... ඔහු තුමූ “කෙසේ නම් අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම් හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරිමැඳුම් යන මෙකී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් නගත්, නුගුණ පතුරුවත්.
2. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේට මේ පවත් සැළ කළහ. ඒ කල්හි භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම් හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් ඉවසත් යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඔහු කීහ. මහණෙනි, කෙසේ නම් අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම්, හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ’ යැ යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කතා කොට මහණුනට මෙසේ වදාළ සේක:
3. මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳුම්, දැක හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
4. මහණෙනි, අබ්භානයට සුදුසු මහණුනට උනුන් මහළුපිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම අනුදනිමි.
5. මහණෙනි, අබ්භානයට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, පසු ව පිළිගණු පිණිස එ දිනට නියමිත බත අත් හැරීම, චතුශ්ශාල බත පිළිගැන්ම යන පස අනුදනිමි.
6. එහෙයින් මහණෙනි, අබ්භානයට සුදුසු මහණුන් විසින් පැවැතියැ යුතු යම්සේ ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි.
7. මහණෙනි, අබ්භානාරහ (අබ්භානයට සුදුසු) මහණහු විසින් මනා ව පැවැතිය යුතු. එහි මේ මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු ... භික්‍ෂූන් කලහයෙහි නො යෙදිය යුතු. [මූලායපටිකස්ස නාරහ මහණහු පිළිබඳ වත යම්සේ ද මානත්තාරහ මහණහුගේ ද මානත්තවාරික මහණහුගේ ද අබ්භානාරහ මහණහුගේ ද යන තුන් දෙනාගේ වත් ද එසේ ම එක් සැටියෙන් විස්තර කළ යුතු.]
8. මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ නො යෑ යුතු පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, යහනෙක්, වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එයැ ඉවැසියැ යුතු.
9. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරමහණකු වැ හෝ පසුමහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. “මා නො දනිත්ව” යි එකරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.