3. මානත්තාරහ වත
1. එ සමයෙහි මානත්තාරහ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳුම්, සාමීචිකර්‍ම, අසුන් එළැවීම්, යහන් එළැවීම්, පාදොවුන් දිය එළැවීම්, පාපුටුව එළැවීම්, පාකටෙලි එළැවීම්, පාසිවුරු පිළිගැණුම්, නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත්, අපිස් ගුණැති සන්තුෂ්ටවූ ලජ්ජීවූ කුක්කුච්චකවූ ශික්‍ෂාකාමවූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම් දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙ කී වත් ඉවසන්නාහුදැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස්කරවා “මහණෙනි, මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත් යනු සැබෑ දැ?” යි භික්‍ෂූන් විචාළ සේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත්, ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ... යැ යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
4. “මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මේ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මානතට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම් අනුදනිමි.
5. මහණෙනි, මානත්තාරහ මහණුනට උපෝසථය, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, ඕනෝජනය (පසුවට පිළිගන්නා අදහසින් එ දිනට නියමිත බත අත් හැරීම), චතුශ්ශාල බත පිළිගැන්ම, යන පස මහලු පිළිවෙළින් කිරීමට අනුදනිමි.
6. එහෙයින් මහණෙනි, යම්සේ මානත්තාරහ මහණුන් විසින් පැවැතිය යුතු ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
7. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු. නිස නො දියයුතු. සාමෙණෙරයෙක් උපස්ථානයට නො ගතයුතු. ... මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු ව නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, අන්තිම යහනෙක්, අන්තිම වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
8. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ හෝ පසු වැ යන මහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. මා (පිරිවෙස් පුරණබව) නොදනිත්වා” යි එ කරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
9. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙකින් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
10. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණකු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
11. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ අභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ අභික්‍ෂුක ආවාසයට නො යා යුතු. ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
12. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
13. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යායුතු. ... සභික්‍ෂුක අනාවාසයට ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
14. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
15. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා, සභික්‍ෂුක ආවාසයට යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට ... සමානසංවාසක මහණුන් ඇති, ‘අදම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
16. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති ‘අදම යා හැක්කෙමි’යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
17. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්‍ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.