2. මූලායපටිකස්සනාරහ වත
1. එ සමයෙහි මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලිකර්ම, සාමීචි කර්ම, ආසනාභිහාර, සෙය්යාභිහාර, පාදොදක, පාදපිඨ, පාදකඨලිකා, පත්තචීවර පටිග්ගහණ, නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසත්. අපිස් ගුණැති … සන්තුෂ්ටවූ ලජ්ජි වූ කුක්කුච්ච වූ ශික්ෂාකාම වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙ කී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළාහු ය.
2. එ කලැ භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි මේ ප්රස්තාවයෙහි බික්සඟන රැස් කරවා, ‘මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසන්නාහු ය යනු සැබෑ දැ” යි අසා වදාළ සේක. “සැබැව, භාග්යවතුන් වහන්සැ” යි එ මහණහු පිළිවදන් ඇස්සූහ.
3. “මහණෙනි, කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන, ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙකී වත් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස ද ... පහනුන්ගේ භූයෝභාවය පිණිස ද නො වේ. මහණෙනි, වැලිදු මෙය නොපහනුන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ අන්යථාත්වය පිණිස ද වේ යැ” යි භාග්යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කතා කොට භික්ෂූන් මෙසේ ඇමතූ සේක.
4. “මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
5. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ... නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් අනුදනිමි.
6. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළුව පිළිගැණීම, ඕනෝජනය (පසු ව ලබන අදහසින් එදිනට නියමිත බත නො පිළිගෙණ හැරැ) දැමීම, (පාරිවාසිකයන් උදෙසා පැණවූ) චතුශ්ශාල බත පිළිගැණීම යන පස අනුදනිමි.
7. එසේ වී නම් මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු වූ මහණුන් විසින් යම්සේ පැවතිය යුතු ද, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට ඔවුන් විසින් පැවැතිය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. එහි මේ මොනොවට පැවැත්ම යි:
8. තමා උපාධ්යාය වැ උපසම්පදා නො කට යුතු. (ආචාර්ය්ය වැ) නිස නො දියැ යුතු. හෙරෙණක් උවටනට තමා වෙතැ නො තබා ගත යුතු. භික්බුනෝවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණහු නො ඔවැයිය යුතු. යම් ඇවැතෙකින් මූලායපටිකස්සනාවට සුදුසු කෙළේ වේ ද, ඒ ඇවැත හෝ එබඳු වූ අන් ඇවැතක් හෝ එයටත් වඩා පවිටු ඇවැතක් නො ඇවැද්ද යුතු. විනයකර්මය නො ගැරැහියැ යුතු. විනයකර්මය කළ මහණහු නො ගැරැහියැ යුතුහ. පුවතත් මහණක්හුගේ උපෝසථය නො වැළැක්වියැ යුතු. පවාරණාව නො වැළැක්වියැ යුතු. සවචනීය කර්මය නො කටයුතු. අනුවාදය (වෙහෙරැ අධිපති බව) නො කළ යුතු. අවසර ගැන්වීම නො කළ යුතු. චෝදනා නො කළ යුතු. ඇවැත් සිහිපත් නො කැරැවියැ යුතු. මහණුන් උනුන් කලහයෙහි නො යෙදියැ යුතු.
9. මහණෙනි, මුලායපටිකස්සානවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හට පෙරැටු වැ නො යා යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් පිරියත් අස්නෙක් පිරියත් යහනෙක් පිරියත් වෙහෙරෙක් වේ ද එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
10. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ පුවතත් මහණකු හා කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්යාකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. ‘මා පිරිවෙස් වසන නියා නො දනිත්වා” යි ඒ හේතුයෙන් පිණ්ඩපාතය තමා වෙත නො ගෙන්වා ගත යුතු.