1. පාරිවාසික වත
1. එ සමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එසමයෙහි පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදේනා දිය එළැවීම, පාපුටුව හා පාදකඨලිකාව එළවා තැබීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිට පිරියම් කිරීම යන මෙ කී දෑ ඉවසත්. අපිස් ගුණ ඇති ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිට පිරියම් කිරීම ඉවසත් දැ?” යි අවඥා කෙරෙත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්යවතුන් වහන්සේට සැළ කළහ.
2. එකල්හි භාග්යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටු පිරියම් ඉවසත් යනු සැබෑ ද?” යි අසා වදාළසේක. “සැබැව, භාග්යවතුන් වහන්සැ”යි මහණහු පිළිවදන් ඇස්වූහ.
3. මහණෙනි, පිරිවෙස් වසන මහණහු කෙසේ නම් පුවතත් මහණුන් ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටිමි, ඇඳිලි බැඳීම, සාමිචීකර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටු පාකටෙලි එළැවීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් ද, මහණෙනි, මෙය සස්නැ නො පහනුන්ගේ පැහැදීම් පිණිස ද ... නො පවතියැ යි භාග්යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට මෙසේ වදාළ සේක:
4. “මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය එළැවීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටු පිරියම යන මෙකී වත් නො ඉවැසිය යුතු. යම් මහණෙක් ඉවසන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
5. මහණෙනි, පිරිවෙස් වසන මහණුන්හට උනුන් මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචි කර්මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය තැබීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටුපිරියම යන මෙ කී වත් උනුනට මහලු පිළිවෙළින් කිරීම අනුදනිමි.”
6. මහණෙනි, පිරිවෙස් වසන මහණුනට උපෝසථ, පවාරණා, වස්සිකසාටිකා ඕනෝජන (පසුව ලබන අදහසින් එදිනට නියම බත නොගෙන හැරීම) චතුශ්ශාල බත ඉවසීම යන පස වැඩිමහලු පිළිවෙළ අනුව කිරීම අනුදනිමි.
7. එහෙයින් මහණෙනි, පිරිවෙස් වසන මහණුනට ඔවුන් විසින් පැවැත්විය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මොනොවට පැවැතිය යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
8. පිරිවෙස් වසන මහණහු විසින් තමා උපාධ්යාය වැ උපසම්පදා නො කටයුතු. තමා ඇදුරු වැ නිස නො දියයුතු. හෙරණක් උවටු නො කොට යුතු. භික්ඛුනීඕවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණනට ඔවා නො දිය යුතු. යම් ඇවැතෙකින් සඟහු විසින් පිරිවෙස් දෙන ලද ද, ඒ ඇවැත හෝ එ බඳු අන් ඇවැතක් හෝ එයට වඩා ලාමක ඇවැතක් හෝ නො ඇවැද්ද යුතු. කර්මය නො ගැරැහිය යුතු යැ. කර්මය කළ මහණහු නො ගැරැගියැ යුතුහ. පුවතත් මහණක්හුගේ පොහොය නො තැබියැ යුතු. පවුරුණු නො තැබියැ යුතු. සවචනීය කර්මය නො කළ යුතු. වෙහෙරැ දෙටුතන්හි නො සිටියැ යුතු. අවසර ගැන්ම නො කරවියැ යුතු. පුවතත් මහණක්හට චෝදනා නො කට යුතු. ඇවැත් සිහිකරවනු නො කට යුතු. මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු.
9. මහණෙනි, පිරිවෙස් පුරණ මහණහු විසින් පුවතත් මහණකුහට පෙරටු වැ නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් කෙළවරැ අස්නෙක් කෙළවරැ යහනෙක් කෙළවරැ වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
10. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ කුලයෝ නො එළැඹියැ යුතුහ. ‘මා පිරිවෙස් පුරන්නකු කොට සෙස්සෝ නො දනිත්වා” යි යන ඒ කාරණයෙන් ආරණ්යකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතය නො ගෙන්වා ගත යුතු.
11. මහණෙනි, පිරිවෙස් වසන ආගන්තුක මහණහු විසින් නේවාසික මහණුනට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පිරිවෙස් වසන නේවාසික මහණහු විසින් ආගන්තුක මහණහට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පොහෝ කිරීමෙහිදී (තමා පිරිවෙස් පුරන බව) සැළ කළ යුතු. පවුරුණුයෙහිදී සැළ කළ යුතු. ඉදින් හේ ගිලන් වේ නම් දූතයකු ලවා නුමුදු සැළ කැරැවියැ යුතු.
12. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, දසවිධ අන්තරාය අතුරෙන් යම් කිසි අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු යි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින්, පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.