8. 2. 13.
දිබ්බචක්ඛු සූත්‍රය
3633. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිසැස ඉක්ම පැවති වෙසෙසින් පිරිසිදු වූ දිවැසින් ... කම් වූ පරිදි පැමිණි සතුන් දනිමි යි.
8. 2. 14.
ආසවක්ඛය සූත්‍රය
3634. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි යි.
දෙවැනි සහස්සවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
සහස්ස, ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, ඨාන, කම්ම, සබ්බත්‍ථ, නානාධාතු, නානාධිමුත්තික, ඉන්‍ද්‍රිය, ඣාන, පුබ්බෙනිවාස, දිබ්බචක්ඛු, ආසවක්ඛය යි තුදුස් සුතුරෙකි යි.
අනුරුද්ධසංයුත්තය නිමියේ ය.
එහි වර්‍ගනාමාවලිය:
රහෝගත සහස්ස යි අනුරුද්ධ සංයුත්තයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනා ලද වර්‍ග දෙකෙක් ම වේ යි.
9. ඣාන සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
9. 1. 1-12.
පාචීනනින්නාදි සූත්‍ර
3635-3646. සැවැත්නුවර-
මහණෙනි, මෙ දැහැන් සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම අකුසල්දහමින් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. විතර්‍ක විචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. (යම් ධ්‍යානයකින්) ප්‍රීතිය දුරු කිරීමෙන් මැදහත් ව වෙසේද, සිහි ඇත්තේත් මනා නුවණ ඇත්තේත් කයින් සුවත් විඳීද, “මැදහත් ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය” යි. ආර්‍ය්‍යයෝ ඒ යමකු ගැන කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. මහණෙනි, මොහු සිවු දැහැන්හු යි.
මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිවු දැහැන් වඩනුයේ සිවු දැහැන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
(දුතිය පාචීනනින්නාදි සූත්‍ර ද මෙසේ විතර කට යුතු.)
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නාසූත්‍ර සයෙකි. සමුද්දනින්නාසූත්‍ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.