8. 1. 5.
දුතිය කණ්ටකී සූත්‍රය
3615. ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ (රහත්) මහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතු දැයි? ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවු සීවටන්හුද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතු යි.
8. 1. 6.
තතිය කණ්ටකී සූත්‍රය
3616. ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
8. 1. 7.
තණ්හක්ඛය සූත්‍රය
3617. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, මේ සිවු සීවටන් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්‍ෂය පිණිස පවතිත්. කවර සිවු සීවටන් කෙනෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්‍ෂය පිණිස පවතිත් යි.
8. 1. 8.
සලලාගාර සූත්‍රය
3618. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි සලලාගාරයෙහි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ … මෙය වදාළහ: “ඇවැත්නි, යම් සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි ‘අපි මේ ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නෙමු’යි උදලු පැසි ගෙන මහජනසමූහයා එන්නේ ය. ඇවැත්නි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජනසමූහයා ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නේ දැයි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වෙයි. එය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නට සුකර නො වෙයි. හුදෙක් ඒ මහාජනසමූහයා වෙහෙසට විඩාවට බඳුන් වන්නේ යි.