5. සම්මප්පධාන සංයුත්තය
1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
5. 1. 1.
පාචීනනින්න සූත්‍රය
2211. සැවැත්නුවර:
මහණෙනි, මේ සම්මප්පධාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහීණ කිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිය සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළාබව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මොහු සතර සම්මප්පධානයෝ යි.
මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් උපදනා පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.
5. 1. 2-48.
දුතිය පාචීනනින්නාදි සූත්‍ර
2212-2258. මහණෙනි, මේ සම්පදහන් සතරෙකි. කවර සතරෙක් ද යත්: ... නිවනට බර වූයේ වේ යි.
(කී නයින් විතර කටයුතු.)
පළමුවැනි ගඞ්ගාපෙය්‍යාලය යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්ක දෙක චතුෂ්ක දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි යි.
2. අප්පමාද වර්‍ගය
5. 2. 1-40.
තථාගතාදි සූත්‍ර
2259-2298. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
(කියන ලද නයින් විතර කටයුතු.)
දෙවෙනි අප්පමාදවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.