4. 7. 7.
රුක්ඛ සූත්‍රය
1751. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම් කිසි රුක්හු වෙද්ද, දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම අවබෝධය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙද්ද, පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය, බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම්කිසි රුක්හු වෙත් නම් දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම්කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
4. 7. 8.
දුතියරුක්ඛ සූත්‍රය
1752. මහණෙනි, යම්සේ තව්තිසාවැසි දෙවියන්ගේ යම් කිසි රුක්හු වෙද්ද, පරසතුරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ තව්තිසා වැසියන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් පරසතු රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය අග්‍ර යයි කියනු ලැබේ යි.
4. 7. 9.
තතියරුක්ඛ සූත්‍රය
1753. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල් රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ යි.
4. 7. 10.
චතුත්‍ථරුක්ඛ සූත්‍රය
1754. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල් රුක ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
සත්වැනි සම්බෝධි වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යි සූත්‍ර සතරෙකි. ඵල සූත්‍ර දෙකෙකි. රුක්ඛසූත්‍ර සතරෙකි. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.