4. 7. 10.
චතුත්‍ථරුක්ඛ සූත්‍රය
1754. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල් රුක ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
සත්වැනි සම්බෝධි වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යි සූත්‍ර සතරෙකි. ඵල සූත්‍ර දෙකෙකි. රුක්ඛසූත්‍ර සතරෙකි. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
8. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
4. 8. 1-12.
පාචීනනින්නාදි සූත්‍ර
1755-1766. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්‍ද්‍රියසංයුත්තයේ ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු.)
අටවැනි ගඞ්ගාපෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සයෙකි. සමුද්දනින්න ද සයෙකි. මේ ෂට්ක දෙක සූත්‍ර දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
9. අප්පමාද වර්‍ගය
4. 9. 1-10.
තථාගතාදි සූත්‍ර
1767-1776. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් ... බහුල කෙරේ යි.
(අප්පමාද වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු යි.)
නවවැනි අප්පමාදවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
තථාගත පද මූල සාර වස්සික රාජ චන්‍ද සුරිය වත්‍ථ යි දශසූත්‍රාන්ත කෙනෙකි.
10. බලකරණීය වර්‍ගය
4. 10. 1-12.
බලාදි සූත්‍ර
1777-1788. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණිය වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු)
දසවැනි බලකරණියවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්‍ර සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා ආගන්තුක නදී යි තුනෙකි. මුළුල්ල දොළොසෙකි.